Saturday, April 22, 2017

--හීන--Dreams--

--හීන--Dreams--

අපේ ජීවිත වල හීන ඕනෑ තරම්.
අපිව ජීවත් කරවන්නෙත් හීන කියලා සමහරු කියනවා.

මහා වීරියක් දරලා තනන්න අවැසි හීන වගේම හරි ලේසියෙන් ඉබේම තැනෙන හීනත් අනන්තයි.

මිල ⁣කල නොහැකි මහා වටිනාකමින් යුක්ත හීන වගේම තොරොම්බල් කඩ වල, පේමන්ට් එකේ ලාබෙට විකිණෙන හීනත් ඇති තරම්.

අපි තනිවම දකින හීන වගේම දෙන්නෙක් එකතු වෙලා දකින හීනත් බෝමයි.
ඒ හීන බොහෝ දුරට රෝමාන්තිකයි.
සමූහයක් එක්කාසු වෙලා දකින හීනත් නැතුවාම නොවේ.

සැබෑවෙන් ඔබ්බට ගියපු ෆැන්ටසියක් වුනු හීන දකින්න අපි කවුරුත් කැමතියි.
ඒ ෆැන්ටසිය යථාවත් කර ගන්න සමහරු වලි කද්දී තවත් සමහරු ඒක ෆැන්ටසික් විදියට තේරුම් අරගෙන පැත්තකට වෙලා ඉන්නවා.
හැබැයි ලෝකය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ තමන්ගේ  හීනය ෆැන්ටසියක් බව දැන දැනත් ඒක යථාර්ථයක් කර ගන්න උත්සුක වෙන මිනිස්සුන්ට.

හීනයක් මඟ හැරෙන්න පුළුවන්ද?

ඔව් අපිට හීන මඟ හැරෙනවා. ඒත් ඒ හීන අමතක වෙන්නේ නෑ. අපි ඒ මඟහැරුනු හීන අමතක වුනා කියලා හිතාන හිටියත්, යටි හිතේ කොයියම්ම තැනක හරි ඒ හීන හැංගිලා තියෙනවා.
කාලෙකට පස්සේ ඒ හීන ආයෙත් මතු වෙනවා. ආයෙත් ඒ පරණ හීනයටම යන්න මාවතක් හොයනවා.
හැබැයි, ඒක අළුත් මාවතක්. පෙර මාවත් වල තිබ්බ වංගු, ගල් ගොඩැලි, වලවල් මඟ හරවමින් සෞම්‍ය වූ නව මාවතක් ඔස්සේ පරණ හීනය වෙතම යන්නට උත්සුක වෙනවා.

ආදරෙත් ඒ වගේ හීනයක්.
මඟ හැරුනත් අමතක වෙන්නේ නෑ.
බාධක වල ගොඩැලි පිරි මාවත වෙනුවට සෞම්‍ය කාපට් මාවතක් හොයාගෙන ඒ හීනය වෙතටම ඇදෙනවා.
ඒක තමයි මැකැනිසම් එක.

ඔව්...
හීන අපිට මඟ හැරෙනවා. හැබැයි අමතක වෙන්නේ නෑ. ...

කාටවත් අපි දකින හීන වලට සීමා පනවන්න අයිතියක් නෑ. ඒවා ඔබේ හීන, මගේ හීන.
අවසරයකින් තොරව තෙවන පාර්ශ්වයකට ඒ හීන වලට මැදිහත් වීම් කරන්න අයිතියක් නෑ.

ඒක වෙන්න ඇති නන්දා මාලිනිය මෙහෙම කියන්නේ...
""මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න,
ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න"" කියලා.

ඔව්...
හීන වලට සීමාවක් ඇත්තෙම නෑ...

හීනයකට මිලක් තියෙනවාද?

හීනයකට මිලක් නියම කරන්න ඔබටවත් මටවත් බෑ.
ඒත් සමහරු කියනවා එක්ස්පෙන්සිව් හීන සහ චීප් හීන තියෙනවා කියලා. ඒක මනින මිනුම් දණ්ඩ මොකක්ද කියලා තාම හිතා ගන්න අමාරුයි.

ඒත්...
හීන විකිණෙනවා.
හැමතැනකම... හීන විකිණෙනවා.
ෂොපින් කම්ප්ලෙක්ස් වල වගේම පේමන්ට් එකෙත් හීන විකිණෙනවා.
ඩියුටි ෆ්‍රී එකේ පවා...

ලෝකල් හීන වගේම ඉම්පෝර්ට් කරපු හීනත් එමට.
ලෝකල් හීන වලට වඩා ඉම්පෝර්ටඩ් හීන වෙනස් ලු. ඒවා බ්‍රෑන්ඩඩ් හීන ලු.

ඔය අතරම හොඳ හොඳ හීන ඉක්ස්පෝර්ට් කරන අයත් නැතුවාම නොවෙයි.

ගෝලීයකරණය, තාක්ෂණය, විශ්ව ගම්මාන සංකල්පය,  සමාජ ජාල එක්ක සුවිශාල වපසරියකින් යුක්ත හීන දකින්න මිනිස්සු පෙලඹිලා. ඉස්සර දැකපු හීන පොඩි වුනාට දැන් මහා විශාල හීන දකින එක කොමන් දෙයක් වෙලා.

මිනිස්සුන්ගේ අවශ්‍යතා සංකීර්ණ වෙලා.
ඉතින් දැන් උන් දකින හීනත් සංකීර්ණයි.

ඔව්...
දැන් දකින්නේ මහා විශාල හීන.
සංකීර්ණ හීන.
......................................................

--© සුදාරක--