Thursday, November 5, 2015

සිංහල සින්දු කියූ ගිනි අවියට පෙම් බැදි කිරිල්ලිය

සුභාවිත සංගීතයට සවන් දෙන සියල්ලන්ම පාහේ අහල තියෙන ගීතයක් තමයි ගුණදාස කපුගේ මහත්මයාගෙ "සිංහල සින්දු කියන නලලේ තිලක තියන කිරිල්ලී" කියන ගීතය. රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා අතින් ලිය වුනු මෙම ගීතය සංගීතවත් කොට ගායනා කරන්නේ විශාරද ගුණදාස කපුගේ මහත්මයා. 

මේ ගීතයෙන් කියවෙන ආදර අන්දරය මොන වගේ එකක්ද කියලා මගේ හිතේ චිත්ත රූප මැවිලා තිබුනත් ඒ කතාව හරියටම මොකක්ද කියලා දැන ගෙන හිටියේ නෑ. මේ ලගදි සයිබර් අවකශයේ ඉබා ගාතේ සැරි සරමින් ඉද්දි මේ ගීතය රචනා වීමට පසුබිම් වූ කතාව කියවන්න හම්බුනා. 

දවසක් කපුගේ මහත්මයා "සිව්දෙස" කියන සගරාව කියව කියවා ඉද්දි වෙනස් කතාවක් ලග ඇස් දෙක නැවතුනා. එදා සමාජයේ නිතර අසන්නට, දකින්නට නොලැබුනු වෙනස්ම ආකරයේ ප්‍රේම වෘතාන්තයක් නිසා ඔහු බොහොම උනන්දුවෙන් මේක කියෙව්වා. මේ කතාවට කපුගේ මහත්මයාගෙ සිත ඇදිලා ගියා වගේම තම අති ජාත මිත්‍ර රත්න ශ්‍රී විජේසිංහ මහතාටද මෙම කතාව පෙන්වීමට ඔහු අමතක කලේ නෑ.


මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ හද්දා පිටිසර ගමක ජීවත් වූ තරුණියක් වූ "විනීතා සමරසිංහ" පොලිස් සේවයට බැදුනා. ඇයට සේවය කිරීමට සිද්ද වුනේ කිරුලපන පොලිස් ස්ථානයේ. විනීතා හා සමකාලීනවම පොලිස් සේවයට බැදුනු කෙනෙක් තමයි "නඩේෂන්" කියන්නෙ. ඔහුත් සේවය කරේ කිරුලපන පොලිස් ස්ථානයේමයි. 

ටික කාලයක් යද්දි විනීතා සහ නඩේෂන් අතර සමීප මිත්‍රත්වයක් ගොඩ නැගුනා. මේ මිත්‍රත්වය ප්‍රේමයක් බවට පරිවර්තනය වීමට වැඩි කාලයක් ගත වුනේ නෑ. මේ ප්‍රේම පුරානය කෙමෙන් කෙමෙන් දලු ලා වැඩුන අතර නඩේෂන්ට හරි හැටි සිංහල කතා කිරීමට නොහැකි වීමවත් විනීතාට දමිල කතා කිරීමට නොහැකි වීමවත් මේ දෙදෙනාගෙ ආදරයට බාධකයක් වුනේ නෑ.

කාලය ගෙවී යද්දි මේ දෙදෙනාගෙ නිවෙස් වලටත් මේ පෙම් පලහිලව්ව ආරංචි වුනා. නමුත් එම වකවානුවේ තිබූ වාර්ගික ගැටලු සහ සංස්කෘතිකමය හැල හැප්පීම් නිසා මේ දෙදෙනාට දෙමාපියන්ගේ ආශිර්වාදය අහිමි වෙනවා. කෙසේ හෝ මේ සියලු ගැටලු පසෙකින් තබා අවසානයේ මේ දෙදෙනා තමන්ගේම ලෝකයක් නිර්මාණය කර ගැනීමේ අරමුණින් යුග දිවියට පා තබනවා. අලුත් ලෝකයක් වෙත පියවර තැබීම සදහා මොවුන් දෙදෙනාම නඩේෂන්ගේ ගම් පලාත වූ උතුරුකරයට යනවා. 

රත්න ශ්‍රී විජේසිංහ මහතා
මේ ලංකවේ යුදමය තත්වය උග්‍ර වී තිබූ කාලයකි. තමන්ගේම ලෝකයක් තැනීමට සිහින මැවූ විනීතාට සහ නඩේෂන්ට විවිධ බලපෑම් හමුවේ අවසානයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයින් සමග එකතු වීමට සිදු වෙනවා. නඩේෂන්  එල්.ටී.ටී.ඊ. පොලිස් අංශයේ නායකයා බවට පත් වෙද්දී විනීතා එහිම ප්‍රභල සාමාජිකාවක් බවට පත් වෙනවා. 

රත්න ශ්‍රී විජේසිංහ මහතාගෙ අතින් ලියැවුනු, ගුණදාස කපුගේ මහතාගේ වර්ණවත් හඩින් ගැයෙන මෙම ගීය ඇසීමට  නඩේෂන්ටවත් විනීතාටවත් හැකියාවක් නොවීය. මක් නිසාද යත් මෙම ගීතය නිර්මාණය වන විට ඔවුන් දෙදෙනාම මෙලොව අතැර ගොස් සිටි නිසාවෙනි.  

"සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී
 
තුඩින් හදවතක් අරගෙන
 
ගිනිගත් තල් අරඹට
 
ආවාදෝ ඉගිල්ලී...


 දිව නුහුරු බසින් පෙම් කවි කී
 
කුරුල්ලාට වශී වී
 
ගිනි මලින් තැනූ මල් පොකුරක්
 
අතට ගත්ත මනාලී
 
මධු සමේ මධුර කටු අතරේ
 
පිපී වැනුණ සුරෑපී...


 ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණ
 
විගඟ සෙනග හඩාවී
 
ඒ කඳුළු සිංහලට නගන්න
 
නුඹට හැකිය ප්‍රියාවී
 
ආදරය නුඹට බාරයි
 
රැක ගනින් දේවතාවී..."




ඉතා දිගු කතාවක් වූ මෙම ප්‍රේම වෘතාන්තය සියයට සියයක්ම අකුරක් නෑරම ගීතයකට ගොනු කල රත්න ශ්‍රී විජෙසිංහ ශුරීන්ගේ අපුර්වතම හැකියාව මෙම ගේය පද පෙල අධ්‍යනය කිරීමේදී මොනවට පැහැදිලි වේ.

මෙම ගීතයේ මා මහත් වශයෙන් ඇලුම් කරන ස්ථාන 3ක් වේ.

ඉන් එකක් නම් "දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශී වී" යන පද පේලියයි. මෙහිදී රචකයා ව්‍යංගාර්ථයෙන් නඩේෂන්ට සිංහල භාෂාව හැසිරවීමේ නොහැකියාව පෙන්නුම් කරයි. 

තවත් එක් ස්ථානයක් නම් "මධු සමේ මධුර කටු අතරේ පිපී වැනුන සුරූපී" යන පද පේලියයි. බොහෝ මනාල මනාලියෝ තම මධු සමය ගත කිරීම සදහා විදේශ ගත වෙද්දි නැතහොත් තරු පහේ හෝටල් කාමර වෙන් කර ගනිද්දී විනීතාට හා නඩේෂන්ට කටුක වූ යුද බිය පැතිරුණු පරිසරයක් තුල තම මධු සමය ගත කරන්නට සිදු වූ බව රචකයා මේ හරහා උලුප්පා දක්වයි.          

අනෙක් ස්ථානය නම් "ගිනි අවිත් එක්ක පෙමින් බැඳුන විහඟ සෙනඟ හඬාවී" යන්නා වූ ගේය පද පේලියයි. විවාහ වී වැඩි කලක් නොගොස් එල්.ටී.ටී.ඊ. සංවිධානයට එක් වීමට සිදු වූ නඩේෂන්ට හා විනීතාට අනෙක් සාමාන්‍ය පෙම්වතුන් මෙන් එකිනෙකා අතේ වෙලෙමින් පෙම් කරනවා වෙනුවට ගිනි අවි වලට පෙම් කිරීමට සිද්ධ වූ ඒ කටුක සිදුවීම රචකයා මෙම පද පේලිය හරහා එලි දක්වයි. 

අප රටේ පවතින්නා වූ සමාජ ක්‍රමය, යල් පැන ගිය සමහර සංස්කෘතික නියමයන්, සහ හණ මිටි අදහස් තවමත් හිසේ තබාගෙන සිටින්නා වූ අයවලුන් නිසා තවත් නඩේෂන්ලා, විනීතලා කීදෙනෙක් අසරණවෙන්න ඇතිද? තවමත් අසරණ වෙනවා ඇතිද?? 


No comments:

Post a Comment

Don't You Think this Awesome Post should be shared ??
| සිංහල සින්දු කියූ ගිනි අවියට පෙම් බැදි කිරිල්ලිය |