Tuesday, August 25, 2015

චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්

චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
නුඹ පෙම් බැඳන් මට ළං වුණා
පෙම් බැඳන් ආ කින්නරාවී
මගෙ ළඟින් හිඳ වෙන් වුණා

ගෙට එන්න පෙර කළ කී කතා
උඩුගම් බලා ගියෙදෝ මෙදා //
විස හී සරේ පපුවට හෙලා
නුඹ නාටකේ වෙනසක් කළා

චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්...

අත දරුවො ගෙන මහගිරි දඹේ
තනිවම නගින්නද පෙම් කළේ //
කළු කාසියට හදවත් වැසේ
නුඹ සොයනවද බරණැස් පුරේ

චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්...

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
ගීතය ඇසීමට>>

මේ ගීතය නම් මට එච්චරම හුරු පුරුදු ගීතයක් නෙවෙයි. ගීතය අහලා තිබුනට ඒක එච්චරම Feel වෙලා තිබුනේ නෑ. ඒත් මේක ගැන ලියන්න කියලා ලැබුන ආරාධනාවක් නිසා මේක ගැනත් ලියන්න  හිතුවා. මේ ගීතය ගැන පොඩි විචාරයක් ලියන්න කියලා මට ආරාධනා කලේ උදිත ඉසංක(බූටෑවා) සහෝදරයා. ඒ ආරාධනයට ඔහුට ස්තුතිය පුද කරන ගමන්ම මට දැනෙන විදිහට මේ ගීතය කොහොම එකක්ද කියල බලමු. මට නම් මේකේ පද වලටත් වඩා Melody එක (තනුව) තමා හිතට ඇල්ලුවේ.

මේ ගීතය මුලික ව ලියවෙලා තියෙන්නේ සඳ කිඳුරු ජාතකය ඇසුරු කරගෙන. මට දැනෙන විදිහට මේකෙදි කියවෙන්නේ එක්තරා ආදරයක් විවාහයකින් කෙලවර වෙලා පසුව විවිධ හේතු නිසා ඒ විවාහය දෙදරා යන කතාවක්. ඒ අවස්ථාවේ සැමියාගේ හදවතේ ඇතිවෙන හැගීම් සමුදාය පද වලට කැටි කරලා ගීතයක් ලෙසින් එලි දකිනවා. ඒ විදිහට ඇතිවන හැගීම් අසන්නාට හොදින් වැටහීමට සඳ කිඳුරු ජාතකයෙන් මනා අයුරින් උපමා යොදාගෙන පද වලට එක් කරලා තියෙනවා. 

"චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
 නුඹ පෙම් බැඳන් මට ළං වුණා
 පෙම් බැඳන් ආ කින්නරාවී
 මගෙ ළඟින් හිඳ වෙන් වුණා"

"සඳකිඳුරු ජාතකයේ කිදුරිය වගේ මං තරුණ කාලෙදි ඔයා මට ආදරය කරමින් මට ලං වුනා. එලෙස ලංවෙලා ප්‍රේමයෙන් මුසපත් වෙලා ඉතා හොඳින් අපි කාලය ගත කළා. අවසානයේ අපිට විවාහ වෙලා එක වහලක් යටට එන්නත් පුළුවන් වුනා. ඒත්..... විවාහයෙන් ටික කාලෙකට පස්සේ ඔය වෙනස් වුනා. අන්තිමට, මගේ ලගින්ම හිටිය ඔයා මගෙන් වෙන්වෙලා ගියා..." 
මේ මුල් පද වලදී රචකයා පවසන්නේ තම සොදුරිය වෙන්වෙලා ගියා කියලා විතරයි. ඔහුව තනිකර වෙනතක යාමක්ද, එහෙමත් නැතිනම් ඔහුගේ බිරිද මිය ගියාද නැතිනම් වෙනත් යමක් සිදු වුනාද කියන තවමත් රහසක්. රචකයා ඉදිරියේදී ඒ ගැන පවසාවි... 

"ගෙට එන්න පෙර කළ කී කතා
 උඩුගම් බලා ගියෙදෝ මෙදා //
 විස හී සරේ පපුවට හෙලා
 නුඹ නාටකේ වෙනසක් කළා"

"අපි ආදරය කරපු දවස් වල අපි කල දේවල්, කියූ කතා, අපේ අනාගතය ගැන අපි පැතු පැතුම් උඩුගං බලා ගිහිල්ලද? ඒවා ඔක්කොම ඔයාට අමතක වෙලාද?" කියලා සැමියා ප්‍රශ්න කරනවා. ඔන්න මේ පද වලින් නම් මේ දෙන්නගේ විරසකයට හේතුව හොයාගන්න පුළුවන්. 
  
"විස හී සරේ පපුවට හෙලා
 නුඹ නාටකේ වෙනසක් කළා"

මෙතැනදී මටත් නිරාකනය කර ගන්න බැරි අදහස් දෙකක් තියනවා. එකක් මේකෙදි විස හීසරේ කියලා කියන්නේ අනියම් සම්බන්ධයක් වෙන්නත් පුළුවන්. අනිත් එක සැමියාව අතහැරලා බිරිද ගිය නිසා ඔහුට ඇතිවෙන දුක මේ විදිහට විස හීසරේ කියල අදහස් වෙනවා වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ දෙකෙන් මොකක් වුනත් ඒක ඔහුගේ හදවතට හොදින්ම දැනෙනවා. එක තමයි රචකයා කියන්නේ "විස හී සරේ පපුවට හෙලා" කියලා. 
ඊලගට "නුඹ නාටකේ වෙනසක් කළා" කියන පද පේලිය කෙලින්ම සඳකිඳුරු ජාතකයට සම්බන්ධයි. සඳකිඳුරු ජාතකය කියවල තියෙන අය නැත්නම් ඒ කතාව අහල තියෙන අය දන්නවනේ කතාව. 
කෙටියෙන් මේකයි කතාව. "රජෙක් යනවා කැලේට දඩයමේ. සදකිදුරයි කිදුරියි පාඩුවේ පෙමින් වෙලී ඉද්දි රජා දකිනවා මේ දෙන්නව. රජාට පොඩි ආසාවක් ඇතිවෙනවා සදකිදුරි ගැන. දඩයමේ යද්දී අත් දෙක වන වනා යන්නෙත් නෑනේ. දුන්නයි ඊතලෙයි තිබ්බා. ඊතලේට හොද විසක් ඒම ගාලා තමා තිබ්බේ. ඉතිං සදකිදුරි අයිති කරගැනීමේ අටියෙන් විද්දා සදකිදුරට. Bla Bla Bla...."
ඕකෙදි  ඔය විස හීය විද්දේ රජානේ. ඒත් ගීතයේ කියන විදිහට බිරිද තමා මේ හීය විදින්නේ. එතකොට ජාතකයේ කතාවට වඩා මේ කතාව වෙනස්නේ. ඒ නිසා තමා රචකයා කියන්නේ "නුඹ නාටකේ වෙසක් කලා" කියලා.



"අත දරුවො ගෙන මහගිරි දඹේ
තනිවම නගින්නද පෙම් කළේ //
කළු කාසියට හදවත් වැසේ
නුඹ සොයනවද බරණැස් පුරේ"

තවත් දෙයක් මේ අවසාන පද කීපයේදී රචකයා පවසනවා. "අත දරුවො" කියන වචනය  යොදාගෙන රචකයා මේ බිරිද සැමියාගෙන් වෙන් වෙන්න කලින් ඔවුන්ට කුඩා දරුවෙක් ඉදල තියෙනවා කියන පණිවිඩය දෙනවා. මේ අසරණ දරු පැටියාත් තනි කරලා තමා මේ බිරිද යන්නේ. මේ තනිවුනු සැමියා කියනවා "මේ කුඩා දරුවාත් එක්ක තනියම ජීවිතය කියන මහා ගිරිදඹ තරණය කරන්න නෙවෙයි මං බලාපොරොත්තු වුනේ. ඇයට පෙම් කලේ ඇයත් එක්ක එකතු වෙලා ආදරය සතුට පිරුණු කුටුම්භයක් සහ ජීවිතයක් ගෙවන්න තමයි මං බලාපොරොත්තු වුනේ."

කළු කාසියට හදවත් වැසේ කියන පදය හරහා හරියටම අර්ථවත් වෙන්නේ මොකක්ද කියල නම් මට හිතා ගන්න අමාරුයි. ඒත් මට හිතෙන විදිහට රචකයා කියන්නේ සල්ලි හමුවේ හැමෝගෙම වගේ හදවත වෙනස් වෙනවා කියලා. මේකේ බරණැස් පුරය කියල අදහස් වෙන්නේ අපි ජීවත් වෙන සමාජය නැත්තම් ලෝකය වෙන්න ඕනි. 
ඉතිං සැමියා බිරිදගෙන් අහනවා  මෙහෙම . "එහෙම මුදල් හා බලය හමුවේ වෙනස් නොවන හදවතක් සොයා ගැනීමට අපහසු බව දැන දැනත් එහෙම වෙනස් නොවෙන හදවතක් ඔබ තවමත් සොයනවද?"
                                                                                              ~සනා~


                                                                                                       

Friday, August 21, 2015

ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ දිවියේ රසබර කතා - (හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතු වේ)

ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ සොඳුරු ගේය පද රචකයාගේ ජීවිතේ රසබර සුන්දර මතකයක් අරගෙන තමයි අද බ්ලොග් එක පැත්තට ගොඩ වුනේ. 

අපේ රටේ මෙතෙක් කලකට බිහි වුනු විශිෂ්ඨතම ගී පද රචකයෙකු ලෙස ප්‍රේමකීර්ති ද අල්විස් මහතා හදුන්වන්න පුළුවන්. ඒ වගේම ක්ෂණයකින් තත්පර කීපයක් තුල ගීතයක් ලියා නිම කිරීමට තරම් හැකියාවක් ඔහු සතු වුන බව ඔහුගේ සමකාලීනයන් පවසනවා. ඔහුගේ ජීවිතේ ඉතා රසබර සිදුවීම් ගොඩක් තියෙනවා. ඒවගෙන් බොහොමයකට මධුවිතත් සම්බන්ධයි. 
දැන් කියන්න යන්නේ ඒ විදිහම රසබර සිදුවීමක් ඔස්සේ නිර්මාණය වුනු ගීතයක පසුබිමේ තියෙන අප්‍රකට කතාවක්. 

ප්‍රියා සුරියසේන මහත්තය ගයනා කරන ලස්සන ගීතයක් තමයි "හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතු වේ" කියන ගීතය. මේ ගීතය රචනා කරන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා. 
මං මගේ යාලුවෝ කීප දෙනෙක්ගෙන්ම ඒ අයට තේරෙන විදිහට මේ ගීතයේ අර්ථය මොකක්ද කියල ඇහුවා. ගොඩ දෙනෙක් දුන්න උත්තරේ තමයි කපල් එකක් මීට් වෙලා ඉන්න වෙලාවක හෙටත් මේ විදිහටම මීට් වෙන්න කරන ආරාධනයක් කියලා. තවත් සමහරු කිව්වේ මේකේ රාගය මුසු ආරාධනයක් කොල්ලා විසින් කෙල්ල වෙත යොමු කරනවා කියලා. ඔහොම එක එක විදිහට අර්ථකථනය කරන්න පුළුවන් ගීතයක් තමයි මේ ගීතය. හරි දැන් ගීතයේ අතීත කතාව පැත්තට යොමු වෙමුකෝ. 

ප්‍රේමකීර්ති මහත්තයා ගොඩක්ම ජනප්‍රිය කාලේ ඔහුගෙන් ගීත ලියවාගන්න නවක ගායන ශිල්පීන් ලොකු කැමැත්තක් දැක්වුවා. ප්‍රියා සුරියසේන මහත්තයත් ඒ කාලේ මුල් අවධියේ ගායකයෙක් නිසා එතුමාටත් ආසාවක් දැනුනා ප්‍රේමකීර්ති මහත්තයාගෙන් ගීතයක් ලියවා ගන්න. දින කීපයක්ම ප්‍රේමකීර්ති මහත්තයා හම්බෙලා විස්තරේ කිව්වත් කිසි වැඩක් වුනේ නෑ. වැඩිය ගණනකටවත් ගන්නේ නැතුව තමා කතා කරලත් තියෙන්නේ. ප්‍රේමකීර්ති මහත්තයාත් එහෙම ආවට ගියාට ගීත ලියලා දුන්නෙත් නෑ. පොඩි ලොකු කමක් එහෙමත් නැත්තම් අහංකාර කමකුත් තිබ්බා. ඒකට ප්‍රියා සුරියසේන මහත්තය ටිකක් කලකිරීමෙන් තමයි  හිටියේ. 
ඔය කාලේ ප්‍රේමකීර්ති මහත්තයා ලගින්ම ඇසුරු කරපු හොඳම මිත්‍රයෙක් තමයි වික්ටර් රත්නායක මහත්තයා. මන් හිතන්නේ වික්ටර් රත්නායක මහත්තයාගේ සින්දු බාගෙකට වඩා පද රචනා කරලා තියෙන්නේත් ප්‍රේමකීර්ති මහත්තයා. එතකොට, වික්ටර් මහත්තයා ලගින් ඇසුරු කරපු කෙනෙක් තමයි ප්‍රියා සුරියසේන මහත්තයා. ඔය කලින් සිද්ද වුනු විස්තරේ ප්‍රියා මහත්තයා ගිහිල්ලා වික්ටර් රත්නායක මහත්තයාට කියනවා. ප්‍රේමකීර්ති මහත්තයා  ගැන හොඳටම දන්නා ඔහු මෙහෙම කියනවා, "නිකන්ම ප්‍රේමකීර්තිගේ පස්සෙන් ගිහිල්ල නම් ඔය මනුස්සයාට කියලා  ඔය වැඩේ කරගන්න වෙන්නේ නෑ. තමුසේ මෙහෙම කරනවා. තමුසේ හොඳ බෝතලයක් අරගෙන යනවා ප්‍රේමකීර්තිගේ ගෙදරට. ගිහිල්ලා එකත් දීල කියනවා සින්දුවක් ඕනි කියලා. එතකොට වැඩේ හරියයි."

දැන් ඔන්න ඉතින් ඉහේ මලක් පිපුන ප්‍රිය සුරියසේන මහත්තයා බෝතලේකුත් අරගෙන(ගල් බෝතලයක් හොඳේ. ඒ දවස් වල ඔය ප්‍රේමකීර්ති මහත්තයා වගේ හොඳ කලාකරුවෝ ඔක්කොම වගේ ගල් තමයි ඵ්‍රෙෆෙර් කරේ.) යනවා ප්‍රේමකීර්ති මහත්තයාගේ නිවසට. යනකොට ප්‍රේමකීර්ති මහත්තයා ගුවන්විදුලි සංස්ථාව පැත්තේ යන්න ලෑස්ති වෙනවා. ප්‍රියා බෝතලෙත් දීල ගීතයක අවශ්‍යතාවය ගැන ප්‍රේමකීර්ති මහත්තයාට කියනවා. ඒත් ප්‍රේමකීර්ති මහත්තයා කියනවා "අයිසේ මන් දැන් හදිස්සි වැඩකට ගුවන්විදුලි සංස්ථාවට යන්න යන්නේ. තමුසේ හෙට එනවා. හෙට මන් ලියල දෙන්නම් හොඳ සින්දුවක් තමුසෙට.". ඒ වුනාට ප්‍රියා සුරියසේන මහත්තය එකග වුනේ නෑ. කලින් දවස් වල තිබ්බ අත්දැකීම් නිසාම මේ පාරත් ගීතය මිස් වෙයි කියලා බයට ප්‍රියා සුරියසේන මහත්තය කියනවා බෑ බෑ මට දැන්මම සින්දුව ඕනි කියල. මුළු සින්දුවම බැරි නම් අඩුගානේ එක වෙර්සෙ එකක් හරි ලියලා දෙන්න කියලා ඉල්ලනවා. 
කට කොනින් හිනා වුනු ප්‍රේමකීර්ති මහත්තයා මේසේ උඩ තිබ්බ කොළ කෑල්ලකුයි පෑනයි අරගෙන ලියනවා මෙන්න මෙහෙම පද 4ක්.

"හෙට දවසේ අප දෙදෙනා 
 අද වාගේම හමු විය යුතු වේ
 අද දවසේ මවෙත ගෙනා 
 මිහිර හෙටත් ගෙන ආයුතු වේ..."

පද වැලත් ලස්සන නිසා ප්‍රියා සුරියසේන මහත්තය කියනවා සින්දුව නම් ලස්සනයි වගේ මන් හෙට එන්නනම් ඉතිරි ටික අරන් යන්න කියලා. ඒ වුනාට ප්‍රේමකීර්ති මහත්තයාගේ ගෙදරදී සිද්ද වුණු සිද්ධිය තමා මේ පද 4කින් කියල තියෙන්නේ. 
ප්‍රියා මහත්තයට කියනවා අද වගේම හෙටත් එන්න කියලා. මේකේ මිහිර කියලා  අදහස් වෙන්නේ අර ගෙනාපු බෝතලේ. නොකියා කියන්නේ අද ගෙනාපු බෝතලේ හෙටත් ගේන්න කියලා. 

ඔන්න ඔහොම තමයි "හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතු වේ" කියන ගීතය රචනා වෙන්නේ. පස්සේ මේ ගීතය ජනතාව අතර ජනප්‍රිය ගීතයක් බවට පත් වෙනවා. 
මං කලින් කිව්වා වගේ ඕනිම කෙනෙකුට විවිධ විදිහට අර්ථකථනය කරන්න පුළුවන් මේ ගීතයේ උපත මෙතරම් රසබර සරල සිදුවීමක් වෙන්න ඇති කියා ඔබ මොහොතකටවත් සිතුවාද?

ගීතය ඇසීමට>>

ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයාගේ ජීවිතේ ම වගේම මීටත් වඩා රසබර කතා කීපයක්ම තියෙනවා. ඒවත් හැකි අයුරින් ලියන්න බලාපොරොත්තු වෙනවා. 
                                                                                                 ~සනා~    

Thursday, August 20, 2015

දවසක් පැල නැති හේනේ

ආයුබෝවන්ඩ....


අද නම් බ්ලොග් එක පැත්තේ ආවේ ගීතයක සැබෑ අරුතක් ගැන කතා කරන්න කියලා හිතාගෙන. 
අපේ රටේ මව් ගුණ ගීත කොච්චර නම් තියෙනවද කියල ඔය හැමෝම දන්නවනේ. එත් මට නම් ගුණදාස කපුගේ මහත්මයාගේ "දවසක් පැල නැති හේනේ" ගීතය තරම් සියුම්ව මවකගේ ගුණ කියවෙන වෙනත් ගීතයක් නැති තරම්. මේ ගීතයේ ගායකයා නම් කවුරුත් හොදින් දන්නවා ගුණදාස කපුගේ මහතා කියලා. නමුත් මෙතරම් සුන්දර පද වැලක් රචනා කල පද රචකයා ගැන වැඩිය කවුරුත් දන්නේ නැහැ. විශේෂයෙන්ම නව පරපුරේ තරුණ උදවිය. මේ ගීතය ලියලා තියෙන්නේ රන්බණ්ඩා සෙනෙවිරත්න කියන අධිනීතිඥයා විසින්. ඇත්තටම ඔහුගේ ජීවිතයට බොහෝ සෙයින් අත්දැකීම් තමා මේ ගීතයෙන් විස්තර කරන්නේ. 
රන්බණ්ඩා සෙනෙවිරත්න කියන්නේ රජරට අනුරාධපුරයේ හද්ද පිටිසර පිටිසර ගමක ඉපදී හැදී වැඩී අධ්‍යාපනය සාර්ථකව නිමා කරමින් අධිනීතිඥයකු බවට පත්වූ පුද්ගලයෙක්. මෙම ගීතය වගේම ගුණදාස කපුගේ මහත්මයාගේම "උල ලේනෝ" ගීතය, "සුමනෝ" ගීතය වගේම අමරසිරි පීරිස් මහතා ගායනය කරන "ළඳුනේ ළඳුනේ" ගීතය ද රන්බණ්ඩා සෙනෙවිරත්න මහතාගේ පෑන් තුඩෙන් තමයි ලියවිලා තියෙන්නේ.



හොඳයි, දැන් "දවසක් පැල නැති හේනේ" ගීතයේ විචාරය දෙසට යොමු වෙමු.

මෙම ගීතයේ පළමු කොටස මෙසේයි...

"දවසක් පැල නැති හේනේ 
 අකාල මහ වැසි වැස්සා 
 තුරුලේ හංගාගෙන මා
 ඔබ තෙමුනා අම්මේ 
 පායන තුරු හිටි පියවර 
 සිටියා අම්මේ..."

මේ පද වැල දැක්ක  ගමන්ම කාටත් හිතෙන්නේ "පැලක් නැති හේනක අම්මා කෙනෙකුයි දරුවෙකුයි ඉද්දි එක පාරම මොර සුරන වැස්සක් වහින්න පටන් ගත්තා. එතකොට දරුවට තෙමෙන්න නොදී අම්මා ඒ දරුවාව තුරුල් කරගෙන පායනකන් ඒ අම්මා එක තැනම හිටියා..."

ඔය මුලික අදහස තමා පද ටික දැක්ක ගමන්ම අපේ සිත්වල මැවෙන්නේ. නෑ, රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්තයා ඊට වඩා ගැඹුරු අදහසක් මේ පද වැල හරහා කියා පානවා. මේකෙදි දවසක් පැල නැති හේන කියන එකෙන් අදහස් වෙන්නේ ස්වාමියා එහෙමත් නැත්තම් තාත්තා නැති නිවස කියන එකයි. අකාල මහ වැස්ස කියලා රන්බණ්ඩා මහත්තය අදහස් කරන්නේ දුප්පත්කම. අකාල මහා වැසි කියන්නේ කිසිදු මුලික වෙනස් වීමකින් තොරව එක පාරටම කඩා හැලෙන වැසි. තාත්තා එක පාරටම මිය ගියාමත් මේ ගෙදරට අකාල මහා වැසි වගේ ක්ෂණික දුප්පත්කමක් ඇති වෙනවා. 
"තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ" මින් අදහස් වෙන්නේ ඒ දුප්පත්කම කියන වැස්සට තම දරුවාට තෙමෙන්නට නොදී තමන් ඒ දුපත්කම, සියලු අග හිඟකම් විඳ දරාගෙන දරුවාට හොඳ අනාගතයක් ලබා දෙන්නට ක්‍රියා මේ අම්මා කරනවා කියන එක.
"පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ" මේ විදිහට දුප්පත්කම දරුවාට දැනෙන්නට නොදී දරුවා යම් තැනකට එන තුරු, පවුලේ අගහිඟ කම් ඉවත්වී යනතුරු(පායන තුරු) ඒ අම්මා එක විදිහටම දරුවාට කිසිදු අඩුවක් කරන්නේ නැතුව ජීවිකාව ගෙනියනවා. 
ඒ විදිහට මේ පුතාගේ ජීවිතය ගොඩ දානකන්ම අම්මා දුප්පත්කම කියන වරුසාවට තෙමෙනවා...

Wednesday, August 19, 2015

මෙහෙමත් අහඹු සිදුවීම්

අපේ එදිනෙදා ජීවිතයේදී අහඹු සිදුවීම් සිදු වෙනවා. නමුත් පහත තියෙන සිදුවීම් ටික නම් හිතා ගන්නත් අමාරු අහඹු සිදුවීම්. මුහුණු පොත පැත්තේ මොකක් හරි පේජ් එකක තමා මේ ටික තිබ්බේ. පේජ් එකේ නම නම් මතක නෑ. මේ කතාවේ සියලු අයිතිය ඒ පේජ් එකේ උදවියගේ.



ඇනී පෙරිෂ් (Anne Parrish) යනු ඇමරිකානු ජාතික ප්‍රසිද්ධ ලේඛිකාවකි. ඇය 1920 දශකයේ ප්‍රංශයේ කල සංචාරයක් අතරතුර පැරීසියේදී පරණ පොත් සාප්පුවකට ගොඩ වැදුනේ ඇයට අවශ්‍ය පොත් කීපයක් මිලදී ගැනීමටයි. පොත් රාක්ක අතර ඇවිද යාමේදී ඇය දුටුවේ ඇය කුඩා කල ඉතා ආශාවෙන් කියැවූ Jack Frost and Other Stories නම් පොතයි. පොත මිලදී ගත් ඇනී පෙරිෂ් නිවසට ගිය පසු පොත සැමියාට පෙන්වා ඇය කුඩා කල මෙම පොතට තදින් ඇලුම් කල බව පැවසුවාය. පොත අතට ගත් සැමියා පොතේ මුල් පිටුව පෙරලූ අතර එහි සටහන් වී තිබුනේ
"Anne Parrish, 209 N. Weber Street, Colorado Springs"
යන්නයි
ඇය වසර ගණනාවකට පසු පැරීසියේදී මිලදී ගෙන තිබුනේ කුඩා කල ඇයගේම පොතයි.

• 1858
දී රොබට් ෆැලන් (Robert Fallon) නැමත්තා පෝකර් ක්‍රීඩාවේ යෙදී සිටියදී ඔහුට වෙඩි තබා මරා දැමුවේ ඔහුත් සමග එකට ක්‍රීඩාවේ යෙදී සිටි සගයෙකු වන අතර ඒ ඔහු වංචා කර ඩොලර් 600ක් ජයග්‍රහනය කලා යැයි ඇති වූ සැකයක් නිසාය. මිය ගිය ෆැලන් නිසා හිස් වූ ආසනයට ඔවුන් අලුත් ක්‍රීඩකයෙකු සෙව්වේ ක්‍රීඩාව දිගටම කරගෙන යාමටයි. ෆැලන් මියගිය නිසා ඔහුගේ ඩොලර් 600 භාවිතා කිරීමට ඔවුන් අකමැති විය. අවසානයේ ඔවුන් ෆැලන්ගෙන් හිස් වූ අසුන සදහා නව ක්‍රීඩකයෙකු සොයා ගත් අතර ඔහුට ෆැලන් අත තිබූ ඩොලර් 600 ලබා දුනි. ෆැලන්ගේ මිනීමැරුම පිලිබදව සොයා බැලීම සදහා පොලීසියෙන් පැමිනෙන විට නව ක්‍රීඩකයා ෆැලන් ගේ ඩොලර් 600 න් ඩොලර් 2200ක් උපයාගෙන තිබුනි. පොලීසිය ඔවුන්ගෙන් ෆැලන්ගේ ඩොලර් 600 ඉල්ලා සිටියේ එය ෆැලන්ගේ උරුමක්කරුවාට ලබා දීමටයි. නමුත් පසුව හෙලි උනේ ෆැලන්ගේ තැන ගත් නව ක්‍රීඩකයා ෆැලන්ගේම පුතා බවයි. ඔහු සියා පියා වසර 7කින් දැක තිබුනේ නැත.

Tuesday, August 18, 2015

වර්තමාන දේශපාලනය පිලිබඳ සනාගේ විවේචනය

2015 පාර්ලිමේන්තු මැතිවරණය මේ වනවිට අවසන් වී ඇත. එහි ප්‍රතිපල අනුව එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රී අසන 106ක් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ආසන 95ක් ද, ඉලංගෙයි තමිල් අරුසුකච්චි ආසන 16ක් ද, ජනතා විමුක්ති පෙරමුණ ආසන 6ක්ද ලබා ගෙන ඇත. 


ශ්‍රී ලංකාවේ ජනමතය එසේ හැසිරුනද බොහෝ ජනතාව දුක් වන්නේ පාර්ලිමේන්තුව තුල ජවිපෙ නියෝජනය අඩු යැයි සිතමිනි. "සනා" ද තරමක් කලකිරී සිටින්නේ උගත් බුද්ධිමත් ජනතාවක් ඉන්නවාය කියා කියනා සාක්ෂරතාවය 94% කටත් වැඩි මේ පුංචි රටේ ජනයා විසින්  ගීතා කුමරසිංහ, නිශාන්ත මුතුහෙට්ටිගම, මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ වැන්නවුන් උත්තරීතර පාර්ලිමේන්තුවට යවමින් ජනතාව හා රට වෙනුවෙන් දේශපාලනය කරන සුනිල් හදුන්නෙත්ති, සමන්ත විද්‍යාරත්න, බිමල් ජයකොඩි, වසන්ත සමරසිංහ වැනි උපාධිධාරී උගත් බුද්ධිමත් ජනතා නියෝජිතයින් අමතක කිරීමය. පුදුමයට කරුණ නම් ජවිපෙ පමණක් නොව සන්ධානයේ කළුතරින් තරග කල මහින්ද සමරසිංහ වැනි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු හරහා ලංකාවට මෙහෙවරක් කල උදවිය පවා ගෙදර සිටිද්දී කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන වැනි අය ජය ගැනීමයි. 


"සනා" යනු ජවිපෙට කඩේ යන්නකු නොවේ. එනමුදු වර්තමාන දේශපාලන වතාවරණය  හමුවේ ශ්‍රී ලාංකීය දේශපාලනය තුල එකම විකල්පය ලෙස "සනා" දකින්නේ "ජවිපෙ" ය. ජවිපෙ ට කාල් මාක්ස්, ලෙනින්, මාවෝ සේතුං වැනි සමාජ ක්‍රියාකාරීන් බලාපොරොත්තු වූ සමාජවාදී රටක් ගොඩනැගීම අපහසුය. ඒ විවුර්ත ආර්ථිකය සමගින් බල්ලෝ මරා හෝ සල්ලි හොයන ආරකට නැඹුරු වූ ලාංකීය ජනයා ධනවාදය පරයා සමාජවාදය වැනි උසස් දර්ශනයක් කිසිසේත් වැළඳ නොගන්නා බැවිනි. නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් ජවිපෙ අනෙකුත් පක්ෂ වලට වඩා බෙහෙවින් සාර්ථකය. මහින්ද රාජපක්ෂ මහතාගේ යටතේ පාර්ලිමේන්තුව පාලනය වන දින වලදී මන්ත්‍රී ධුර 3ක් පමණක් තබාගෙන සත්‍ය විපක්ෂය ලෙස හඬ නැගුවේ ජවිපෙ මන්ත්‍රීවරුන්ය. තවද රාජපක්ෂ ගෙන ආ ජනතාවට අහිතකර ප්‍රතිපත්ති කෙරෙහි නොබියව හඬ නැගූ එකම පක්ෂය ජවිපෙයි. එය පක්ෂ භේදයකින් තොරව සියල්ලන්ම පාහේ පිළිගන්නා දෙයකි. 

විසඳුමක් රහිත ගැටලුවක් (කිඹුල් උභතෝකෝටිකය)

සිංහල විකිපීඩියාව පැත්තේ සැරිසරනකොට විසදුමක් නැති ප්‍රශ්නයක් 
හම්බුනා. කතාව තේරුම් ගන්න මටත් ටිකක් වෙලා ගියා. ප්‍රශ්නේ ගැන හිතද්දී ඇත්තටම ඒකට විසදුමක් හොයන්න බෑ  කියල තේරුණා. 
අපේ සිංහල කියමනක් තියෙනවනේ විසදුමක් නැති ප්‍රශ්නයක් නෑ කියලා. එතකොට මේක මොකක්ද?

"කිඹුල් උභතෝකෝටිකය"


කිඹුල් උභතෝකෝටිකය යනු තර්ක ශාස්ත්‍රයෙහි එන නොවිසිඳියහැකි ගැටළුවකි.

කිඹුලෙක් විසින් දරුවෙකු සොරකම් කරගෙන යයි. නමුත් පියා කිඹුලාගෙන් තම දරුවා ලබා දෙන මෙන් ඉල්ලු විට කිඹුලා පියාට පොරොන්දු වන්නේ කිඹුලා දරුවාට සිදු කරන දේ නිවැරැදිව පුරෝකථනය කිරීමට (අනුමාන කිරීමට)  සමත් වුවහොත් ඔහුගේ පුත්‍රයා  නැවත සුරක්ෂිතව ලැබෙන්නට සලස්වන බවයි.
දරුවා නැවත බාරදෙන බවට පියා අනුමාන කලහොත් ගනුදෙනුවට කිසිදු ගැටලුවක් නැත.
නමුත් දෙපාර්ශවයටම උභතෝකෝටිකයක් පැන නගින්නේ දරුවා නැවත භාර නොදෙන්නේ යයි පියා අනුමාන කලහොත් ය. මෙහිදී දරුවා තබා ගැනුමට කිඹුලා තීරණය කලහොත්, ඔහුගේ කොන්දේසි ඔහු විසින්ම කඩ කෙරෙයි: පියාගේ අනාවැකිය සත්‍යවූ බැවින් දරුවා නැවත භාර දිය යුතුය. කෙසේවෙතත්, දරුවා නැවත භාරදීමට කිඹුලා තීරණය කලහොත්, මෙම තීරණය පෙර ප්‍රතිඵලය පදනම් කරගෙන ගනු ලැබූවක් වුවද, එවිටත් ඔහු විසින් ඔහුගේම කොන්දේසි කඩකරනු ලබයි: එය එසේ වන්නේ කිඹුලා විසින් දරුවා නැවත භාර දීම නිසා පියාගේ අනාවැකිය අසත්‍ය වීම නිසා දරුවා නැවත භාර දිය නොයුතු බැවිනි. කිඹුලා කුමක් කල යුතුද යන පැණයට යුක්තිගෝචර විසඳුමක් එයට නොමැත්තේය.


මැතිසබේ උදවියට ලැබෙන වරදාන හා වරප්‍රසාද

ඔන්න ඉතිං චන්දෙත් ඉවර එකේ අන්තර්ජාලයේ කිමිදෙනකොට අපේ වටිනා මනාපයෙන් මැති සබේට යන උදවියට ලැබෙන වරදාන වරප්‍රසාද ටිකක් හොයාගන්න පුළුවන් වුනා.
හැබැයි ඉතින් ඔය වරප්‍රසාද කිසි දෙයක් ගැන හිතන්නේ නැතුව අපි වෙනුවෙන් දේශපාලනය කරන ගොඩක් මිනිස්සු පැරදිලා ලෝකෙට පරකාසේ තියාගෙන  වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහිල්ල නැති අමු මෝඩ මිනිස්සු ටිකක් අපේ රටේ ඉතා බුද්ධිමත් ජනතාව තෝරාගෙන තීන එක ගැන නම් සනා පොඩ්ඩක් වික්ෂිප්ත වෙලා කණගාටුවට පත්වෙලා ඉන්නේ.
හරි මේ තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වරදාන හා වරප්‍රසාද....


මන්ත‍්‍රීවරුන්ට හිමි වරප‍්‍රසාද
1. වෛද්‍ය රක්ෂණයත් ලක්ෂ තුන හමාර දක්වා වැඩි කරයි.
2. මන්ත‍්‍රීවරයෙකුගේ මාසික වැටුප රුපියල් 54,285 කි.
3. පාර්ලිමේන්තු සභා වාරය පැමිණීම වෙනුවෙන් දිනක දීමනාව රුපියල් 500.
4. කොළඹින් බැහැර අයට නිල නිවාසයක් (ව.අඩි. 900 ක දෙමහල් නිවස).
5. රාජකාරි හා පෞද්ගලික දුරකථන පහසුකම් සඳහා බිල්පත් ගෙවීම.
6. තීරු බදු රහිත වාහනයක් (වසර 5 කට වරක් ගත හැකිය) බොහෝ විට මෙම වාහන බලපත‍්‍රය ලක්ෂ 3040 ක ලාභයක් ඇතිව විකිණීම සිදු වේ.
7. ඉන්ධන දීමනාව (බස්නාහිර පළාතෙන් පිටත) පෙට‍්‍රල් වාහනයක් සඳහා රුපියල් 50,000 (ඞීසල් වාහනයක් සඳහා රුපියල් 20,000)
8. කාර්යාල, නිවාස හා ජංගම දුරකතන බිල් ගෙවීම.
9. දේශීය හා බටහිර වෛද්‍ය පහසුකම් නොමිලයේ.
10. නිරෝගී ශරීර සෞඛ්‍ය සඳහා ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන පහසුකම්.
11. විශේෂඥ වෛද්‍යවරයෙකු නියම කරන බෙහෙත් ඖෂධ වර්ග පවා නොමිලයේ ලබා ගැනීමේ පහසුකම්ි.
12. වසර 5 ක පාර්ලිමේන්තු නියෝජනයෙන් පසු විශ‍්‍රාම වැටුප් හිමිකම.
13. ලිපි ද්‍රව්‍ය පහසුකම් නොමිලේ.
14. ලැප්ටොප් පරිගණකයක්.
15. ෆැක්ස් යන්ත‍්‍රයක්.
16. විදේශ සංචාර.
17. කාර්ය මණ්ඩලය සඳහා දුරකථන පහසුකම්.
18. ආරක්ෂක නිළධාරීන්.
19. බාධක වලින් තොරව පාර්ලිමේන්තුවේ රැුස්වීම් වලට සහභාගි වීමට හා ඒමට මාර්ග පහසුකම් සැපයීම.


Sunday, August 16, 2015

නිකොලා ටෙස්ලා ගැන වෙනස්ම කතාවක්

ඔන්න ඉතිං සනා අන්තර්ජාලයේ සැරිසරමින් ඉද්දි ටිකක් වැදගත් පොස්ට් එකක් හම්බුනා. කවීන්ද්‍ර උෂාන් පෙරේරා සහෝදරයා තමා ලියල තියෙන්නේ. ඔය විද්‍යාව, තාක්ෂනය වගේ ෆීල්ඩ් වලට කැමති කට්ටියට වැදගත් කියල හිතුන නිසා බ්ලොග් එකටත්  දාන්න හිතුනා. ඔය A/L වලට Physics කරපු උදවිය නිකොලා ටෙස්ලා කියන්නේ කවුද, එයා හොයාගෙන තියෙන්නේ මොනවද කියල දන්නවනේ ටිකක්. එත් මේක ටෙස්ලා ගැන තියෙන වෙනස්ම කතාවක්. සමහරු විද්‍යාවේ දෙවියන්(Scientific God) ලෙසත් ටෙස්ලාව හදුන්වනවා. නමුත් මගේ මතයට අනුව නම් විද්‍යාවේ දෙවියන් විය යුත්තේ ඇල්බට් අයින්ස්ටයින්.
හරි, නිකොලා ටෙස්ලා ගැන පොඩ්ඩක් විස්තර කරොත් ඉපදිලා තියෙන්නේ 1865 ජුලි 10. ටෙස්ලා භෞතික විද්‍යාඥයෙක්, විදුලි හා විද්‍යුත් ඉංජිනේරුවෙක්, යාන්ත්‍රික ඉංජිනේරුවෙක්, අනාගතවදියෙක්(Futurist) විදිහට හදුන්වන්න පුළුවන්. 

හරි දැන් කතාව පැත්තට යොමු වෙමු. 
කාලෙකට ඉහතදි 1884 දී දුප්පත් සර්බියානුවකු වූ නිකොලා ටෙස්ලා ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය විය . ඒ වනවිට ඇමරිකාව යනු ටෙස්ලා වැන්නෙකුට තම හැකියාවන් ප්‍රගුණ කිරීමට හොඳ අවස්ථාවන් සහිත දේශයක් විය . ටෙස්ලා මිළ මුදලින් දුප්පතෙකු විය ,නමුත් ඔහුගේ අදහස් ලෝකයක් එළිය කරහැකි තරමේ ඒවා විය . නිකොලා ටෙස්ලා කියන්නේ Alternative Current (AC) නිපදවූ පුද්ගලයා ලෙස තමා ලොකේ ගොඩක් අය දන්නේ (උසස් පෙළ භෞතික විද්‍යාවට නම් Tesla යනුවෙන් ඒකකයක් ඇත). නමුත් ඔහු බොහෝ වටිනා දෑ නිපදවූ ලොකේ සිටි ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින්ගෙන් කෙනෙකු විය. ශ්‍රේෂ්ඨ මනසක් සහ අප වසන කාලයට එහා ගිය අදහස් වලින් යුත් ඔහුවැන්නේක් සම කළ හැක්කේ ලියනාඩෝ ඩාවින්සි වැනි ශ්‍රේෂ්ඨ අයකුට පමණි . මක් නිසාදයත් ඔහුගේ දක්ෂතාවයන් ඉලෙක්ට්‍රොනික් ක්ෂේස්ත්‍රයට පමණක් සීමා නොවිය .ගුප්ත විද්‍යාව ,X-කිරණ පිලිබඳව ,ඡායාරූපකරණ සම්බන්ධ පර්‍යේෂණ ,වෛදික දර්ශනය සහ තවත් බොහෝ ක්ෂේස්ත්‍ර පිළිබඳ ඔහුගේ ඥාණය මෙහෙයවීය .ටෙස්ලා විසින් නිමවනු ලද හෝ සංවර්ධනය කරන ලද ඉතා වැදගත් මට්ටමේ ඉලෙක්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික උපාංග එකල කාලයේ චින්තනයෙන් එහා ගිය ඒවා විය සහ එම උපාංග විශේෂයෙන් එකල ඇමරිකානු හමුදාව සහ බුද්ධි අංශවල කැමැත්ත විය .රටවල් 25 කින් 300 කට ආසන්න පේටන්ට් බලපත්‍ර ටෙස්ලා සතු විය .

<--Thomas Alva Edison සමඟ ගැටුම-->

නිකොලා ටෙස්ලා ඇමරිකා එක්සත් ජනපදයට පැමිණීමට පෙර තොමස් එඩිසන් ගේ ඉලෙක්ට්‍රික් ලයිට් සමාගමේ ප්‍රංශ ශාඛාවේ සේවය කරමින් සිටියේය .එඩිසන්ගේ එම සමාගම තනිකරම සරල ධාරාව(Direct Current ) සංකල්පයේ සිරව සිටියේ.නමුත් සරල ධාරා ක්‍රමය විදුලිය සැපයීමේදී ඉතා දුධ්කර ක්‍රමයක් විය .මේම ක්‍රමයේන් වෙනස් ක්‍රමයක් අවශ්‍යතාවය තිබුණු සමයේ නිකොලා ටෙස්ලා විසින් ප්‍රත්‍යාවර්ත ධාර නොහෝත් AC (Alternative Current ) කිය්න සංකල්පය ගෙන ආවේය (අද අප නිවෙස් වලට සපයන විදුලිය මෙම ක්‍රමයේ ප්‍රතිඵලයකි ).ඉකොලා ටෙස්ලාගේ විශිෂ්ඨතම නිපදවීම් 3 ක් විය ;ඒවා නම්,
1.මුළු ලෝකයටම විදුලියෙන් ආලෝකමත් කිරීමට පහසු කරවූ භ්‍රමණය වන චුම්භක ක්ෂේස්ත්‍ර න්‍යාය
2.
රැහැන් රහිත රේඩියෝ සම්ප්‍රේශන න්‍යාය .
3.
ලොකේ ඕනෑම ස්ථානයකට සම්ප්‍රේශණය කළ හැකි රැහැන් රහිත විදුලිබල සම්ප්‍රේශණ න්‍යාය .
ටෙස්ලා ධනවත් වීමට සුර සැප සොයාගෙන ඇමරිකාවට ගිය අයෙකු නොවේ(අද අපේ රටේ විශ්වවිද්‍යාල ආචාර්‍යවරු මෙන් සහ පශ්චාත් උපාධි ශිෂ්‍යන් )ඔහු මුදල් පර්‍යේෂන සඳහා යෙමුකු විසින් කරන ලබන දායකත්වය මිස විශේෂ බැඳීමක් ඇති කරගත් අයෙකු නොවේ .ලොකය සමඟ තමන් සොයාගන්නා ලද නිපදවන ලද දේවල් තුළින් ලබන ප්‍රතිඵලය බෙදා හදා ගැනීම ඔහුගේ ඒකායන අරමුණ විය .එකල්හී තෝමස් එඩිසන් ලෝකයේ නම් දරා සිටි ඊනියා නව නිපැයුම් කරුවෙකිකි ,එකල්හී බෝහෝ දෙනා එඩිසන්ව දැනන් සිටියේ සරල ධාරා ඩයිනමෝව සහ විදුලි බල්බය නිපදවීම සම්බන්ධයෙන්ය .නමුත් සැබැවින්ම මෙකී ඒවා එඩිසන් විසින් නිපදවන ලද ඒවා නොවේ ,ඒවා වෙනත් නිර්මාපකයන්ගේ අදහස් මතින් ගොඬ නැඟුනු නිර්මාණයන් විය . එඩිසන් කළ එකම දෙය නම් එම නිර්මාණ වලට පොඩි වෙනසක් ලබා දී එහි පේටන්ට් අයිතිය තමන් සතු කර ගැනීමයි.ඔහු විසින්ම නිපදවූ එකම දෙයනම් විදුලිපුටුව පමණි. එකල්හී එඩිසන් සරල-ධාරා(Direct Current) ක්‍රමයෙන් ඈත් වන්නට කැමති වුයේ නැත නමුත් මා මුලින් කීවා සේ සරල ධාරා ප්‍රායෝගික මට්ටමේ ඇතැම් භාරධූර ක්‍රියාවන් සඳහා යෝදා ගැනීමේදී දුෂ්කරතා මතු විය .විෂේශයෙන්ම් දිගු දුර කටයුතු සඳහා මෙම සරල ධාරා ක්‍රමය කොහෙත්ම නොගැළ පෙන එකක් විය .එඩිසන් ටෙස්ලා හට සරලධාරා ඩයිනමෝවේ ඇති දෝෂ නිරාකරණය කිරීමට පැවරීය .එසේ නිරාකරනය කරනවාට ගාස්තු වශයෙන් ඇමරිකානු ඩොලර් 50,000 ක මුදලක් ගෙවීමට එඩිසන් ටෙස්ලා හට පොරොන්දුවිය .මාස ගනනක් මුළුල්ලේහි මහන්සිවී ටෙස්ලා විසින් ඉහතින් සඳහන් කරන ලද සරලධාරා ගැටළුව නිරාකරණය කලේය .එසේ නිරාකරණය කිරීමෙන් පසු ටෙස්ලා හට එඩිසන් විසින් ලබා දෙනවා කී ඩොලර් 50,000 ලබා දීම පරක්කු විය .මේ හේතු කොටගෙන ටෙස්ලා එම කාරණාව ගැන විමසීමට එඩිසන් වෙත ගිය පසු එඩිසන් ටෙස්ලාට පවසා ඇත්තේ, "ටෙස්ලා ඔය ඇමරිකන් විහිළු ගැන තාම හරියට දන්නේ නැහැ" කියාය .එම සිදුවීමෙන් පසුව එඩිසන් ගැන කළකිරුණු ටෙස්ලා විසින් එඩිසන්ගේ සමාගමේන් ඉවත් වීමට කටයුතු කළේය .මක් නිසාදයත් ටෙස්ලා ගේ අදහස වී තිබුණේ එම මුදල් ඔහුගේ අනර්ඝ නිමැවුම් කිරීම සඳහා පර්‍යේෂන වියදම් ලෙස යොදා ගන්නටය .එහෙත් ය ඉටු නොවීම් එඩිසන් කෙරේ බලවත් අප්‍රසාදයෙන් පසුවිය .ටෙස්ලාගේ ප්‍රත්‍යාව‍ර්ත ධාරා ක්‍රමයෙන් බොහෝ වාසි සහගත විදුලිය නිපදවාගැනීමට හැකියාව තිබියදීත් එඩිසන් විසින් එය ප්‍රතික්ෂේප කරන්නට විය .මක් නිසාදය්ත් එම ක්‍රමය හඳුන්වා දුන් පසු ඔහුගේ සරල ධාරා ඩයිනමෝ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපාරයට පහරක් එල්ල වන බැවිනි .නමුත් තත්වය මෙසේ තිබියදී ටෙස්ලාගේ එම ප්‍රත්‍යාවර්ත ධාරා ක්‍රමය වැඩි දියුණු කිරීමට එවකට ඇමරිකාවේ විසූ තවත් නවනිපැයුම් කරුවෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වූ ජෝර්ජ් වෙස්ටින්ග්හවුස් සහය දක්වන්නට විය .එසේම එඩිසන්ගේ සහ ඔහුගේ ප්‍රධානියා වූ ජේ.පී මොර්ගන් මෙම ටෙස්ලාගේ ක්‍රමයට දිනෙන් දින අකුල් හෙලන්නට විය .1886 වන විට වෙස්ටින්ග්හවුස් සමාගම ලොකයේම සාර්ථක සමාගම් අතරින් කිහිපයක් විය .වෙස්ටින්ග්හවුස් හොඳ ධනවතෙක් මෙන්ම හොඳ දානපතියෙක්ද විය .ඔහු ඔහුයටතේ සේවය කරන සේවකයන් හට ඉතා හොඳින් සැළකූ අයෙක් විය .එමෙන්ම ඔහු මුළු රටපුරාම තම උපයාගත් ධනය පුණ්‍ය කටයුතු සඳහා යොදවන්නටද අමතක කළේ නැත .ඔහු විසින් ටෙස්ලාගේන් ප්‍රත්‍යාවර්තධාරා ක්‍රමයට අදාළ පේටන් ට් සියල්ලට ඩොලර් මිලියනයක් මුදලින් ගෙවා විදුලි බලයෙන් එක් අශ්වබලයකට එක ඩොලරය ගානේ කතෘභාගය ද ලබාදුනී .මෙයින් පෙනී යන්නේ එඩිසන් මෙන් වෙස්ටින්ග්හවුස් බොරුකාරයෙකු නොවන වගයි . නමුත් මෙම වෙස්ටින්ග්හවුස්ගේ ක්‍රියාවලිය එඩිසන් සහ මොර්ගන්(මොර්ගන් යනු ජේ.පී මොර්ගන් ය ඔහු ගැන විස්තර මෙම ලිපියේ පහතින් ඇත) හට දිරවන්නක් නොවීය .ඔවුන් තමන් හට හකි අයුරින් ප්‍රත්‍යාවර්ත ධාරා ක්‍රමය නැසීමට ක්‍රියා කළහ .කෙතරම් ක්‍රියා කලාද කියතොත් එඩිසන් විසින් අලි ඇතුන් මීයන් වැනි සතුන් ගෙන්වා ඔවුන්ට ප්‍රත්‍යාවර්ත ධාරාව ලැබෙන්න සළස්වා මරුමුවට පත් කිරීමෙන් ප්‍රත්‍යාවර්ත ධාරාව අනතුරු දායක බව පෙන්වීමට තැත් කලේය .එමෙන්ම සිරකාරයින්ට ද මෙම ප්‍රත්‍යාවර්ත ධාරාවන් ලැබෙන්න සලස්වා ඉහත කී අරමුණ සාක්ෂාත් කරගන්නට වෙර දැරුවේය (විදුලි පුටුව නිර්මාණය වෙන්නේ මේ හේතුවෙනි .සැබවින්ම එඩිසන්ගේම කියා නිර්මාණයක් කියා කිව හැක්කේ මෙම විදුලි පුටුව පමණි) 

<--
සමකාලීන චරිතකතාකරුවන් (Biographers) වීසින් විවිධාකාරයේ ගෞරවාන් විත ලෙස නිකොලා ටෙස්ලා හඳුන්වයි .ඇතැම් අය ඔහු "භෞතික විද්‍යාවේ පියා "ලෙසත් .තවත් අය විසින් "20 වෙනි ශතවර්ෂය නිර්මාණය කළ මිනිසා " ලෙසත් තවත් අය විසින් " නවීන විද්‍යුතයේ අනුග්‍රාහක මුනිවරයා " ලෙසත් හඳුන්වනු ලබයි .-->

අහවල් එහෙකටද බ්ලොග් ලියන්න හිතුනේ?

හ්ම්ම්... බ්ලොගින්...!!!!

සෛබර් අවකාශයේ සැරිසරන පොඩි කොලු ගැටයෙක් වෙච්චි මටත්(පොඩි කිව්වට පොඩිමත් නෑ. දැන් අවරුදු 23කටත් කිට්ටුයි ඕන්) බ්ලොග් ලියන්න  අදහසක් පහල උනා. ඒකට ප්‍රධාන හේතුවක් වුනේ මගේ අදහස් සෛබර් අවකාශය තුල හරි හැටි සංවාදයකට ලක් කරන්න තියෙන අවශ්‍යතාවය. එතකොට ඔය රොටිය බබා, මාතලන්, නෙලුම් යාය, කොළඹ ගමයා, මාධවගේ බ්ලොග් සටහන, ගී පැදුර, බයිස්කෝප් මංසල, කාලය, සිතුවිලි, ආදී එකී මෙකි නොකී බ්ලොග් අඩවි අම්බානක් කියවල ගත්තු අභාශයත් මේ විදියට බ්ලොග්කරණයේ යෙදෙන්න එක හේතුවක් වුනා.

හරි, මුලින්ම මං මොකෙක්ද, මොනාද කරන්නේ, කොහෙද ඉන්නේ, වගේ මගේ වතගොත ටිකක් සදහන් කරලම වැඩේ පටාන් ගමුකො...
නම සුපුන් සුදාරක. දැනට ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ
උසස් අධ්‍යාපනය හදාරනවා. කැම්පස් එකේ නම් මගේ කාඩ් එක "සනා". ඒක නිසා බ්ලොග් ලියද්දිත් ඒ කාඩ් එකම පාවිච්චි කරන්න තමා හිතන් ඉන්නේ. ඔය කලාව, අධ්‍යාපනය, ආර්ථිකය, සමාජය, චිත්‍රපට, දේශපලයනය, සංගීතය වගේ ගොඩක් දේවල් ගැන මගේ අදහස් දක්වන්න මේ බ්ලොග් එක උදව්වක් කර ගන්න තමා මන් හිතන් ඉන්නේ. ඒ  අදහස ඕනි එකක් සංවාදයට විවුර්තයි.
එනම් ඉදිරියේදී උණු උණු බ්ලොග් පොස්ට් එක්ක හම්බෙමු. ජය වේවා...!!!

බ්ලොග්කරණයට අලුතින් එක් වූ නවකයා