Thursday, May 20, 2021

හීන පොකුරක් හිතේ රන්දා - දෑස දල්වා සිටී අම්මා

මහා සමනල කන්ද නහවා

ගැලූ මුත් දුක් කඳුළු ගංගා

පිට වුනේ නැත දෑස තෙරපා

ඒ තමා පුත උබේ අප්පා


ඇරඹුනත් කඳු මුදුන පිහිටා

හතර අත යන මහා ගංගා

කරනු නම් බැරි විඩා සින්දා

විඳී ඔහු තව දුක්ඛ සමුදා


සිරි පතුල වෙත කරන කරුණා

හිතේ පිරි ඇත මහා ශ්‍රද්ධා

දෑස තෙරපන කඳුළු සමුදා

සීත ගඟුලෙන් නොයයි සෝදා


පඩිපෙල් නගිද්දි එකින් එක තව

දෙපතුල් කකියයි ගල් තැලුම් මත

කිසිත් නොදැනම අවට වට පිට

සිරි බලයි නුබ ඔහුගෙ කර මත


හීන පොකුරක් හිතේ රන්දා

දෑස දල්වා සිටී අම්මා

මහා ගිරි දඹ ඈත පෙන්වා

කෝඩුකාරය පුතේ තවමා


පැතූ මුත් මුදු වලලු හැම අත

පිරිත් නූලකි ඇගේ අත මත

මාල මුදු වේ ටවුමෙ බැංකුව

සින්න වීමට මසක් තව ඇත


පාන ගෙත්තම් කරන සැරසිලි

දිවිය තුල නැත එලෙස සැලකිලි

නුබේ වත මත රැඳි සිනා රැලි 

මගේ දිවියම කරයි සැරසිලි


-සුදාරක-