Monday, October 19, 2015

දුමාට දැනුනු ඇගේ වියෝව

ඔන්න කැම්පස් එකේ හෙට Applied Exam එකත් තියාගෙන අදත් ආවා බ්ලොග් එක පැත්තේ. සින්දුවක් ගැන ලියන්නත් ඕනි. ඒත් සින්දුවට කලින් පොඩි කතාවක් තියෙනවා ලියන්න. මොකද කැම්පස් එකේ එක බත් පත බෙදාගෙන කන මගේ සදාරණීය මිතුරෙක්ගේ ලස්සන(ලස්සන කිව්වට දුඛාන්තයක් තියෙන) love story එකක් තියෙනවා. මට ඒ කතාව අහගෙන ඉද්දි වෙන මොකුත් නෙවෙයි මතක් උනේ. සුනිල් එදිරිසිංහ මහත්මයාගේ  ගීතයක්. ඉස්සෙල්ල කතාව කියවමුකෝ.

දවසක් මායි තව සරසවියේ මිත්‍රයෝ කීපදෙනෙකුයි මහ රෑ සිල්පර කොටන් උඩට වෙලා අහසේ තරු ගණන් කර කර ඉන්න වෙලාවක තමා අපේ කතා නායකයා මේ කතාව පටන් ගත්තේ. මිනිහා පොඩ්ඩක් ගොරෝසු කටහඬක් තියෙන මධ්‍යම පළාතේ කොල්ලෙක්. මේ කතාව ලියන්න ගොඩක් කල් ඉදන් පෙරුම් පුර පුර හිටියේ. ඒත් විවිධ හේතු නිසා ලියාගන්න බැරි වුනා. 


හරි, අපේ කතා නායකයාව "දුමා" කියලා හදුන්වමුකෝ. 

අපේ දුමා ඒ කාලේ ඉදන් ඔය ආදරය කියන දේ සිරාවටම හොදට වින්ද පුද්ගලයෙක්. මේ ප්‍රධාන කතාවට එන්න කලින් මිනිහගේ ඒ අතීතය ගැන පොඩ්ඩක් හාරා අවුස්සන එක වටිනවා. ඉස්කෝලේ යන කාලේ එක්තරා දුමා එක්තරා කෙල්ලෙකුට ආදරය කරා. ඒ ආදරෙත් ලස්සන රස මුසු තැන් එක්ක ගෙවුන උනත් එක පාරටම අර කෙල්ල මුව අත අරිනවා. අපිට තේරෙන විදියට කිව්වොත් බූට් එකක් තිබ්බා. දුමා ඒ සිද්දිය නිසා සැහෙන්න දුක් වුනා. කොහොම හරි කාලයත් එක්ක ඒ දේවල් අමතක වෙලා ගිහිල්ල මිනිහ යන්තමින් හිත හදාගෙන ඉන්නකොට ඒ කියන්නේ කොල්ලා තුන්වෙනි පාර ගණිත අංශයෙන් උසස් පෙළ ලියන කාලේ Agri එකේ සුන්දර මුහුණකට දුමාගේ හිත ගියා. ඔය හිත කියන දේ තනිව හැසිරෙන, දුර ගමන් යන ගුහාවක වාසය කරන(ඒකං චරං, දුරං ගමං...) අමුතුම දෙයක් කියලා බුදු දහමේත් පැහැදිලි කරනවනේ. 
ඇත්තටම කිව්වොත් මුලින්ම ඒ අහිංසක වත කමලට හිත ගියාට මිනිහා ආදරේ කරේ ඒ කෙල්ලගේ අහිංසකකමට සහ ගති ගුණ වලට. 

කොහොම හරි මිනිහ මුට්ටිය එහෙම දාල හෙමින් හෙමින් ඒ කෙල්ලට ලං වෙලා තමන්ගේ හිතේ කැකෑරේමින් තිබ්බ ආදරේ ප්‍රකාශ කරා. වැඩි කලක් යන්න කලින් ඒ කෙල්ලත් අපේ දුමාට ආදරේ කරන්න පටන් ගත්තා. ඉතින් මේ දෙන්නගේ ආදරෙත් ඔය බයිස්කෝප් වල තියෙන තරම්ම romantic නොවුනත් romantic ආදරයක් වුනා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ දෙන්නගේ බැඳීම සැබෑ ආදරක් වුනා. කිසිම ආදර කතාවකට බාධක නැති වෙන්නේ නෑනේ. ඉතින් මේ සුන්දර ආදරයත් ගලාගෙන ගියේ විවිධ බාධක කම් කටොලු අතරින්. කතාවක් තියෙනවනේ ආදරයයි, කැස්සයි දෙකම හංගන්න බෑ කියලා. ඉතිං ඒක නිසාත් විවිධ ප්‍රශ්න වලට මූන දෙන්න සිද්ධ වුනත් ආදරය ගලාගෙන ගියා. 

ඔහොම දවසින් දවස ගෙවිලා යද්දී දෙන්නම සරසවි වරම් ලැබුවා. මං දකින විදිහට මේ ආදර අන්දරයේ Turning Point එක තමයි මේක. මේ දෙන්නම ආවේ "හිරු නැගෙන සරසවිය හෙවත් නැගෙනහිර සරසවියට. ඒ කියන්නේ Eastern University එකට. අර කෙල්ලට නම් ඒක කොහොම දැනුනද කියලා දන්නේ නෑ, හැබැයි අපේ දුමාගේනම් ඉහේ මලක් පිපුන වගේ තමයි ඒ පණිවිඩය දැන ගත්තට පස්සේ. දුමා Science Faculty එකේ. දුමාගේ ප්‍රියම්බිකාව Agriculture එකේ. 

Sunday, October 11, 2015

ආගන්තුකයන්ගේ මධුසමය | The Honeymoon of Strangers

කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ ගොඩ වැදුනේ. අද නම් පොඩ්ඩක් වෙනස් කතාවක්  තමා දාන්නේ. අද මගේ යාලුවෙක් එක්ක පොඩි සංවාදයක් ගියා Proposal Marriage ද හොඳ එහෙම නැත්තම් Love Marriage කියලා. ඒ වෙලාවේ තමයි දවසක් අන්තර්ජාලයේ ඉබා ගාතේ ඇවිදිමින් ඉන්නකොට ඇහේ රැදිච්ච මෙන්න මේ කතාව මතක් වුනේ. මගේ මතකයේ හැටියට මේකේ පළමු කර්තෘ මානවක කියලා අයියා කෙනෙක්. ඔන්න එහෙනම් කියවන්නකෝ කතාව...

ආගන්තුකයන්ගේ මධුසමය | The honeymoon of strangers



ඇයට එසේ කිරීමට අයිතියක් තිබුණාදැයි හෝ ඇයගේ අරමුණ කුමක් වීදැයි මුල් හමුවීමේ සිටම මා පෙළන ගැටළුවකි.ඇය ලැබීමට තරම් නොව පැතීමට තරම් වත් රූමත් කමක් එදින මාගෙන් නිරුපණය නොවීමද මට
අකමැති වනමෙන් ඇයගෙන් ඉල්ලා සිටියදීත් ඇය මාවෙත මනාපය පල කිරීමද මාගේ හදවතෙහි ඇය ගැන සැකයක් නැතිනම් අපුලක් හෝ අර්ථකතනයක් දිය නොහැකි එහෙත් දරාගත නොහැකි නොසන්සුන්තාවයක් ඇති කිරීමට සමත් වී යැයි සිතේ.

ඔයාගේ ගෙදරට තව දුරද?

මාගේ සිතුවිලි දාමය බිඳුනේ ඇයගේ පැනයෙනි.අප මෝටර් රථයට නැගී ගතවුණ පැයකුත් හමාරක කාලය තුල අප අතරේ හටගත් මුල්ම සංවාදය එයයි.ඇයගේ කට හඬේ කිසිදු චකිතයක් හෝ නොවීම මා තව තවත් නොසන්සුන් කරවයි.ඇත්තෙන්ම ඇයගේ ඇමතුම ළදරියකගේ ඇමතුමකින් වෙන්කර හඳුනාගත නොහැකි තරම් ලයාන්විතවත් අකර්ශනීයවත් සවන් හරහා හදට එලබේ.නැවත මා නොසන්සුන්තාවයට පත් වන්නේ ඇයට නාදුනන පිරිමින් සමග මුහු වීමට ඇති හැකියාව ගැන හිතෙහි අප්‍රසන්න වූ සැකයක් මතු කරමිනි.

හ්ම්ම්ම්...ටිකක්

එතන මොන වගේද.....මම අහන්නේ වටපිටාව....

අමුතු දෙයක් නෑ. පොඩි ගෙදරක්.... කාමර දෙකක්... පොඩි සාලයක්.. හ්ම්ම්... තව පුංචි කුස්සියක්.. වටේටම තාප්ප .. මට නම් ඕනෑවට වැඩිත් එක්ක...

ෂෝයි.... මම ආසයි පුංචි ගෙවල් වලට... හැබැයි ප්‍රශ්නයක්...

ඇයට නැවතත් පැනයකි.... ඇය ප්‍රශ්න නගන්නේ පාසල් යන දැරියක් සේය.අයත් මාත් අතර වයස පරතරය ඇය දැරියකුත් මා වියපත් මිනිසෙකුත් කර ඇත. ඇය කෝල ලෙස සිනාසෙයි. එම සිනාවේ අරුත සෙවීමට මා දැරූ තැත ඇයට තේරුම් ගිය නිසාවෙන්දෝ ඇයගේ සිනහව තවත් සුන්දර වී ඇත.

කියන්න..මොකක්ද ප්‍රශ්නේ...?

ඇයගේ සිනහව හදවත කළඹයි....

මොකක්ද ප්‍රශ්නේ... එතන හිනා වෙන්න දෙයක් තියනවද... මට පුළුවන් විදියට තමයි මම ඉන්නේ...

ඔහොම කේන්ති ගන්න එපා අයියෝ... ප්‍රශ්නේ තමයි.. හ්ම්ම්ම්... හ්ම්ම්ම්..

කියන්න.....අප්පා......

මා නොසන්සුන් වෙයි... ඇය තවත් සිනාසෙයි....

හ්ම්ම්ම්... දැන් ඔය පොඩි ගෙදර මටත් ඉඩ තියනවද... ළමයෝ....

හ්ම්ම්ම්.....

මැරෙන්න යනවද මනුස්සයෝ.....?

ඈ අවිනීත රියදුරෙකුට දෙස් තබයි. මා තවත් නොසන්සුන් වෙයි. දුම් වැටියක මිහිරි මතක හිත වටා සෙවනැලි නගයි...

----------------------------------------------------------------------------------------------------------------------------------------------------

ඔය ළමයා මේකට නම් කැමති වෙන්නම ඕන. කේන්දරත් හොදටම ගැලපෙනවා. කේන්දර බලන මනුස්සය කිව්වෙත් පාතාගෙන ආව වගේ හඳහන් දෙකක් කියලා.

නින්දෙන් ඇහැරුනේ අම්මාගේ සද්දෙට. ඇයි යකෝ ගෙදර ආවම මිනිහෙකුට නිදහසේ නිදාගන්නවත් විදියක් නෑ. අනිවා කොහේ හරි ඉන්න කස්කුරුප්පුවක් සෙට් කරලා ඇති. මොන දුකක්ද මම මේ තනියෙන් ඉන්න ආතල් එක කඩන්න හදන්නේ. මොකක් හරි පොඩි දෙයක් කාලා හීනියට අඩියක් ගහගෙන සින්දුවක් කියන් ඉන්න එක තරම් ෆන් එකක් තියේද අප්පා මේ ගෑනියෙක් ගත්තම. ඒකි කියන තාලෙට තමයි නටන්න වෙන්නේ ඊට පස්සේ. ඇරත් උදේ ඇහැරුනා ගමන් හිස්බඩටම දුමක් දාන්න පුලුවන්ද ගෑනියෙක් ගත්තම.

හරි හරි අපෝ මම එන්නම්. හැබැයි ඔන්න මට රැවුල කපන්න මේකප් දාන්න කියන්න එපා. මගේ විදියට තමයි මම එන්නේ. ඔය බඩ්ඩ මට කැමති වෙනවනම් එහෙම වෙන්න ඕන මගේ සාමාන්‍ය විදියට නැතුව පියරු බබෙකුට නෙවෙයි. ඔන්න අද බලන්න යන එකී මට කැමති උනොත් ආයේ දෙකක් නෑ මමත් කැමතියි. දැන් කීයටද ඔය මගුලට යන්න තියෙන්නේ. මම ඔය මගුලට ගිහින් එහෙමම ගෙදර යනවා. හෙට උදේම වැඩට යන්න ඕනෑ.

මම මගේ සුපුරුදු කොන්දේසි ලැයිස්තුව අම්මට දැම්මා. මම අත්දැකීමෙන්ම දන්නවා රැවුල කපන්නේ නැතුව කොන්ඩෙත් අවුල් කර ගත්තම මගේ මුණට එන වලස්ත පෙනුමට සිහිකල්පනාව නැති උනත් ඇස්දෙක පේන ගෑනියෙක් නම් කැමති වෙන්නේ නෑ කියලා. හෙට නිවාඩු උනත් කෙප්පයක් කෙලලා කලින්ම ගෙදරින් මාරු වෙන්න හැදුවේ මේ කසාද සීන් එපා වෙච්ච නිසා...

උඹට කියන කට හොඳයි බිම උලා ගන්න එක. ටිකක් දුරයි දැන්ම නාල ලෑස්තිවෙන්න...

----------------------------------------------------------------------------------------------------------------------------------------------------

ඔයා උයනවද?

ඇයට නැවතත් පැනයකි. එයද සිත අතරමං කරන සිනහවක් මැදින්ය. නැවත මා නොසන්සුන් වෙයි.

ඔව්.... සමහර දවසට...

මම හිස් ලෙස පිළිතුරු දෙමි. ඇය නොනවත්වා සිනාසෙයි. වරක් දුටු විට තව වරක් නොව සිය වාරයක් බැලීමට සිත්දෙන ඇයගේ වතේ කෝමල රේඛා සිත කුල්මත් කරයි. ඇයගේ සුන්දරත්වය පරිහරණය කිරීමට මම නීතියෙන් අවසර ලබා ඇත. එහෙත් නැවත මා නොසන්සුන්ය. පැරණි එහෙත් මා ප්‍රියකරන ගීතයක් නොදැනීම මිමිනෙයි. "මුදු මුහුණේ සුව දැනුනේ ප්‍රිය ළඳුනේ මට විතරද ♪♫"

ශෝක්.. ශෝක්.. මම ආසයි උයන්න.. ඉතින් තව දුරද කියන්නකෝ.. අපි පොඩ්ඩක් නැවතිලා යන්ද.. මට විකාරයි වගේ අද සිද්ධ වෙච්ච දේවල් නිසා...

නැවතත් ඇය දොඩමළු වෙයි. නාදුනන මිනිසෙකු සමග හුරතල් වීමට හැකි ගැහැනියට මා දිවයුතු අර්ථකථනය කුමක්ද?

----------------------------------------------------------------------------------------------------------------------------------------------------

තාත්තා දිගින් දිගටම අහගෙන ආපු මග විස්තරත් එක්ක අපේ වාහනේ නැවතුනේ බන්ධනාගාරේ තාප්පේ විතර එකකට දාපු පතරංග ගේට්ටුවක් ගාව.

කිව්ව විදියට නම් මෙතන තමයි තැන.