Thursday, August 20, 2015

දවසක් පැල නැති හේනේ

ආයුබෝවන්ඩ....


අද නම් බ්ලොග් එක පැත්තේ ආවේ ගීතයක සැබෑ අරුතක් ගැන කතා කරන්න කියලා හිතාගෙන. 
අපේ රටේ මව් ගුණ ගීත කොච්චර නම් තියෙනවද කියල ඔය හැමෝම දන්නවනේ. එත් මට නම් ගුණදාස කපුගේ මහත්මයාගේ "දවසක් පැල නැති හේනේ" ගීතය තරම් සියුම්ව මවකගේ ගුණ කියවෙන වෙනත් ගීතයක් නැති තරම්. මේ ගීතයේ ගායකයා නම් කවුරුත් හොදින් දන්නවා ගුණදාස කපුගේ මහතා කියලා. නමුත් මෙතරම් සුන්දර පද වැලක් රචනා කල පද රචකයා ගැන වැඩිය කවුරුත් දන්නේ නැහැ. විශේෂයෙන්ම නව පරපුරේ තරුණ උදවිය. මේ ගීතය ලියලා තියෙන්නේ රන්බණ්ඩා සෙනෙවිරත්න කියන අධිනීතිඥයා විසින්. ඇත්තටම ඔහුගේ ජීවිතයට බොහෝ සෙයින් අත්දැකීම් තමා මේ ගීතයෙන් විස්තර කරන්නේ. 
රන්බණ්ඩා සෙනෙවිරත්න කියන්නේ රජරට අනුරාධපුරයේ හද්ද පිටිසර පිටිසර ගමක ඉපදී හැදී වැඩී අධ්‍යාපනය සාර්ථකව නිමා කරමින් අධිනීතිඥයකු බවට පත්වූ පුද්ගලයෙක්. මෙම ගීතය වගේම ගුණදාස කපුගේ මහත්මයාගේම "උල ලේනෝ" ගීතය, "සුමනෝ" ගීතය වගේම අමරසිරි පීරිස් මහතා ගායනය කරන "ළඳුනේ ළඳුනේ" ගීතය ද රන්බණ්ඩා සෙනෙවිරත්න මහතාගේ පෑන් තුඩෙන් තමයි ලියවිලා තියෙන්නේ.



හොඳයි, දැන් "දවසක් පැල නැති හේනේ" ගීතයේ විචාරය දෙසට යොමු වෙමු.

මෙම ගීතයේ පළමු කොටස මෙසේයි...

"දවසක් පැල නැති හේනේ 
 අකාල මහ වැසි වැස්සා 
 තුරුලේ හංගාගෙන මා
 ඔබ තෙමුනා අම්මේ 
 පායන තුරු හිටි පියවර 
 සිටියා අම්මේ..."

මේ පද වැල දැක්ක  ගමන්ම කාටත් හිතෙන්නේ "පැලක් නැති හේනක අම්මා කෙනෙකුයි දරුවෙකුයි ඉද්දි එක පාරම මොර සුරන වැස්සක් වහින්න පටන් ගත්තා. එතකොට දරුවට තෙමෙන්න නොදී අම්මා ඒ දරුවාව තුරුල් කරගෙන පායනකන් ඒ අම්මා එක තැනම හිටියා..."

ඔය මුලික අදහස තමා පද ටික දැක්ක ගමන්ම අපේ සිත්වල මැවෙන්නේ. නෑ, රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්තයා ඊට වඩා ගැඹුරු අදහසක් මේ පද වැල හරහා කියා පානවා. මේකෙදි දවසක් පැල නැති හේන කියන එකෙන් අදහස් වෙන්නේ ස්වාමියා එහෙමත් නැත්තම් තාත්තා නැති නිවස කියන එකයි. අකාල මහ වැස්ස කියලා රන්බණ්ඩා මහත්තය අදහස් කරන්නේ දුප්පත්කම. අකාල මහා වැසි කියන්නේ කිසිදු මුලික වෙනස් වීමකින් තොරව එක පාරටම කඩා හැලෙන වැසි. තාත්තා එක පාරටම මිය ගියාමත් මේ ගෙදරට අකාල මහා වැසි වගේ ක්ෂණික දුප්පත්කමක් ඇති වෙනවා. 
"තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ" මින් අදහස් වෙන්නේ ඒ දුප්පත්කම කියන වැස්සට තම දරුවාට තෙමෙන්නට නොදී තමන් ඒ දුපත්කම, සියලු අග හිඟකම් විඳ දරාගෙන දරුවාට හොඳ අනාගතයක් ලබා දෙන්නට ක්‍රියා මේ අම්මා කරනවා කියන එක.
"පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ" මේ විදිහට දුප්පත්කම දරුවාට දැනෙන්නට නොදී දරුවා යම් තැනකට එන තුරු, පවුලේ අගහිඟ කම් ඉවත්වී යනතුරු(පායන තුරු) ඒ අම්මා එක විදිහටම දරුවාට කිසිදු අඩුවක් කරන්නේ නැතුව ජීවිකාව ගෙනියනවා. 
ඒ විදිහට මේ පුතාගේ ජීවිතය ගොඩ දානකන්ම අම්මා දුප්පත්කම කියන වරුසාවට තෙමෙනවා...


ඒ පළමු වැස්ස දුප්පත්කම කියන වැස්සට තෙමෙන්නේ අම්මා. ඒත් දෙවෙනි වැස්සට තෙමෙන්න සිද්ධ වෙන්නේ පුතාට. 

"නුවර වීදි යට කරගෙන 
 නින්දා වැහි වැගිරුන දා 
 බිරිඳකගේ සෙනේ ගියා 
 යෝධ ඇලේ නැම්මේ 
 නුඹේ සෙනෙහස සුවඳ දිදී 
 දැනුනා මට අම්මේ..."

අම්මා දුක් මහන්සිවෙලා උගන්වලා මේ පුතාට ජීවිතේ ගොඩ දාලා දෙනවනේ. දැන් මේ පුතා සමාජයේ වැදගත් තැනක් හොබවන, කීර්තිමත් පුද්ගලයෙක් විදිහට වැජබෙනවා. කසාදයක් එහෙම බැඳලා හොදින් ජීවිකාව ගෙවිලා ගියත් ඔය අඹු සැමියන් අතරේ වෙන ගැටළු නිසා අවසානයේ අපේ කතානායකයාගේ බිරිඳ ඔහුව අත ඇරලා යනවා. සමාජයේ කීර්තිමත් කෙනෙක් වූ ඔහුට අන්තිමේ නින්දා, අපහාස විදින්න වෙනවා මේ සිද්ධිය නිසා. රන්බණ්ඩා මහත්තයා දෙවෙනි වැස්සක් ලෙස අර්ථවත් කරන්නේ මේ නින්දා වැස්ස. 
මේ නින්දා වැස්සට තෙමෙන පුද්ගලයා කල්පනා කරනවා ඒ බිරිඳගේ සෙනෙහසත් හරියට යෝධ ඇලේ නැම්ම වගේ කියලා. 
ධාතුසේන රජතුමා හැදුව යෝධ ඇලේ විශේෂත්වය තමයි හැතැක්ම එකෙන් එකට බැස්ම(ගැඹුර) අඟලකින් වැඩි වෙනවා. ඉතින් මේ බිරිඳගේ සෙනෙහසත් යෝධ ඇලේ බැස්ම වගේම දිනෙන් දින අඩු වෙනවා. ඒත් අම්මගේ සෙනෙහස එහෙම අඩු වෙන්නේ නෑ.

"කොළඹ අහස කළු කරගෙන 
 මුහුදු හුලග හඬලනකොට 
 ඔටුන්න බිම දා දුවගෙන 
 එන්නද එක පිම්මේ 
 මන් එනතුරු ඉඳිකඩ ළඟ 
 ඉන්නවාද අම්මේ..."

දැන් මොහු අග නගරේ ඉතා උගත්, ධනවත්, කීර්තිධර පුද්ගලයෙක්. ඔහු දන්නවා කොළඹදී අහස කළු කරලා හුලන් හමද්දී අයෙත් වැස්සකට තෙමෙන්න වෙනවා කියලා. නමුත් ජීවිතේ හමු වෙන විවිධ වරුසා හමුවේ ඔහුට මේ ඔක්කොම අත හැරලා නැවතත් ගමට ගිහිල්ලා අම්මත් එක්ක හිටිය කාලේ වගේ ඉන්න හිතෙනවා. 

ඒක නිසා අම්මගෙන් අහනවා ඔටුන්න බිම දාල, ඒ කියන්නේ නම්බුව, ධනය, බලය කියන මේ ඔටුන්න බිමට දාල ආපහු අම්ම ලඟට එන්නද කියලා. මොහු අම්මගෙන් අහනවා පුතා අපහු එනකන් ඉඳිකඩ ලඟට වෙලා බලාගෙන ඉන්නවද කියලා. 

ඒත්...... ඒකට උත්තර දෙන්න අම්මා අද ජීවතුන් අතර නෑ........ 

දවසක් පැල නැති හේනේ ගීතය ඇසීමට >>

No comments:

Post a Comment

Don't You Think this Awesome Post should be shared ??
| දවසක් පැල නැති හේනේ |