Tuesday, August 18, 2015

වර්තමාන දේශපාලනය පිලිබඳ සනාගේ විවේචනය

2015 පාර්ලිමේන්තු මැතිවරණය මේ වනවිට අවසන් වී ඇත. එහි ප්‍රතිපල අනුව එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රී අසන 106ක් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ආසන 95ක් ද, ඉලංගෙයි තමිල් අරුසුකච්චි ආසන 16ක් ද, ජනතා විමුක්ති පෙරමුණ ආසන 6ක්ද ලබා ගෙන ඇත. 


ශ්‍රී ලංකාවේ ජනමතය එසේ හැසිරුනද බොහෝ ජනතාව දුක් වන්නේ පාර්ලිමේන්තුව තුල ජවිපෙ නියෝජනය අඩු යැයි සිතමිනි. "සනා" ද තරමක් කලකිරී සිටින්නේ උගත් බුද්ධිමත් ජනතාවක් ඉන්නවාය කියා කියනා සාක්ෂරතාවය 94% කටත් වැඩි මේ පුංචි රටේ ජනයා විසින්  ගීතා කුමරසිංහ, නිශාන්ත මුතුහෙට්ටිගම, මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ වැන්නවුන් උත්තරීතර පාර්ලිමේන්තුවට යවමින් ජනතාව හා රට වෙනුවෙන් දේශපාලනය කරන සුනිල් හදුන්නෙත්ති, සමන්ත විද්‍යාරත්න, බිමල් ජයකොඩි, වසන්ත සමරසිංහ වැනි උපාධිධාරී උගත් බුද්ධිමත් ජනතා නියෝජිතයින් අමතක කිරීමය. පුදුමයට කරුණ නම් ජවිපෙ පමණක් නොව සන්ධානයේ කළුතරින් තරග කල මහින්ද සමරසිංහ වැනි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු හරහා ලංකාවට මෙහෙවරක් කල උදවිය පවා ගෙදර සිටිද්දී කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන වැනි අය ජය ගැනීමයි. 


"සනා" යනු ජවිපෙට කඩේ යන්නකු නොවේ. එනමුදු වර්තමාන දේශපාලන වතාවරණය  හමුවේ ශ්‍රී ලාංකීය දේශපාලනය තුල එකම විකල්පය ලෙස "සනා" දකින්නේ "ජවිපෙ" ය. ජවිපෙ ට කාල් මාක්ස්, ලෙනින්, මාවෝ සේතුං වැනි සමාජ ක්‍රියාකාරීන් බලාපොරොත්තු වූ සමාජවාදී රටක් ගොඩනැගීම අපහසුය. ඒ විවුර්ත ආර්ථිකය සමගින් බල්ලෝ මරා හෝ සල්ලි හොයන ආරකට නැඹුරු වූ ලාංකීය ජනයා ධනවාදය පරයා සමාජවාදය වැනි උසස් දර්ශනයක් කිසිසේත් වැළඳ නොගන්නා බැවිනි. නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් ජවිපෙ අනෙකුත් පක්ෂ වලට වඩා බෙහෙවින් සාර්ථකය. මහින්ද රාජපක්ෂ මහතාගේ යටතේ පාර්ලිමේන්තුව පාලනය වන දින වලදී මන්ත්‍රී ධුර 3ක් පමණක් තබාගෙන සත්‍ය විපක්ෂය ලෙස හඬ නැගුවේ ජවිපෙ මන්ත්‍රීවරුන්ය. තවද රාජපක්ෂ ගෙන ආ ජනතාවට අහිතකර ප්‍රතිපත්ති කෙරෙහි නොබියව හඬ නැගූ එකම පක්ෂය ජවිපෙයි. එය පක්ෂ භේදයකින් තොරව සියල්ලන්ම පාහේ පිළිගන්නා දෙයකි. 



තවත් වැදගත් කරුණක් නම් ජවිපෙ සමගින් ඒකරාශී වන්නා වූ ජන කොට්ටාශය උගතුන්  හා සමාජයේ වැදගත් තැනක් හිමි පුද්ගලයින් වීමයි. අනෙකුත් ප්‍රධාන පක්ෂ වටා කුඩුකාරයින්, දුෂකයින්, ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින් වැනි අය ඒකරාශී වෙද්දී මහාචාර්ය සරත් විජේසූරිය, මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ආදී උගතුන්ද, නදීක ගුරුගේ, රොෂාන් පිලපිටිය, සුනිල් පෙරේරා, වැනි කලාකරුවන්ද ජවිපෙ වටා ඒක රාශී වීම දක්නට ලැබුණි. 


මෙලෙස ඉතා වැදගත් කාර්යන් විශාල ප්‍රමාණයක් ඉටු කරනා, ප්‍රතිපත්ති ඇති, දර්ශනයක් ඇති, සැලසුමක් ඇති, ජවිපෙට චන්ද අඩු වුනේ ඇයි කියා සමහරු විමසති. ඊට පිළිතුරු දීමට පෙර මමද ඔවුන්ගෙන් ප්‍රශ්නයක් විමසීමට කැමතිය.
කෙතරම් ගුණදායක වුවද කොළකැද හා ඔසුපැන් බොන්නේ නැතුව මිනිස්සු අරක්කු, කසිප්පු බොන්නේ ඇයි?
   
තවත් කරුණක් මතක් කරන්න කැමතියි. ගොඩක් මිනිස්සු ගෙදරින් යන්නේ මේ පාර නම් වෙනසක් කරනවා. අවුරුදු 60 ගානක් තිස්සේ UNP එකටයි පොදු පෙරමුණටයි දුන්නා. අපිට වෙච්චි සෙතක්  නැනේ. අපේ දරුවෝ ගැන හිතල හරි මේ පාර නම් JVP එකට දෙනවා කියල හිතාගෙන. එත් ඇගිල්ල එහෙම පාට කරගෙන බැලට් පේපර් එක අරගෙන පෑන අතට අරන් කතිරේ ගහන්න යද්දී අත ඔටෝම යනවා අර දෙකෙන් එකක්  හොයාගෙන. එකල්ලා සීනුව පෙනී පෙනී අලියට හරි බුලත් කොලේට හරි කෙලලා  එනවා. ඇවිල්ලා චන්ද ප්‍රතිපල අහල හූල්ලනවා අපරාදේ මන් කර ගත්ත මෝඩ වැඩක්, JVP එකට තව Seat ටිකක් තිබ්බනම් ලොකු දෙයක් කරනවා කියලා. පස්සේ ඊලග චන්දෙදිත් එකම කරනවා. ඔන්න ඔය මානසිකත්වය ලංකාවේ මිනිස්සුන්ගෙන් අයින් වෙනකන් ලංකාව හදන්න බෑ.

කෙසේ නමුදු එයින් ජවිපෙ සාමාජිකයින්ට කිසිදු ගැටළුවක් නැත. මක් නිසාද යත් ඔවුන් දේශපාලනය කරන්නේ කිසිදු වරප්‍රසාදයක් බලාපොරොත්තුවෙන් නොවන නිසාය. ඔවුන් තමන් ලබන මන්ත්‍රී වැටුප පවා පක්ෂයේ ක්‍රියාකාරිත්වයට හා සමාජයේ උන්නතිය උදෙසා ලබා දෙයි. කණගාටුවිය යුත්තේ සාමාන්‍ය ජනතාවයි. ජවිපෙ වැඩියෙන්ම කතා කරන්නේ  කම්කරුවන්, ගොවියන්, රජයේ සේවකයින් හා මධ්‍යම පාන්තික ජනයා වෙනුවෙනි. කරුමයක මහත නම් එවැනි පුද්ගලයින්ටම එය තේරුම් ගැනීමට අපහසු වීමයි. 


වර්තමාන තරුණ පරපුර තුල යම් විශේෂ දෙයක් මම දකිමි. එය නම් කවුරු කෙසේ සුරංගනා කතා කීවත් තම බුද්ධිය වෙහෙසවා රට හා අනාගතය ගැන සිතා තම චන්දය භාවිත කිරීමයි. ඊට ප්‍රධාන හේතුවක් ලෙස මා දකින්නේ වර්තමාන තරුණ පරපුර අන්තර්ජාලය, සමාජ ජාල, හා නව තාක්ෂණය වැඩි වැඩියෙන් භාවිත කිරීමයි. ඒ හරහා ඔවුන් සමාජ හා වර්තමාන දේශපාලන ක්‍රියාකාරිත්වය පිලිබඳ මනා අවබෝධයක් ලබාගෙන ඇත. කොටින්ම කිව්වොත් වර්තමාන තරුණ පරපුර ගොනාට ඇන්දීම එතරම් පහසු නැත. නමුදු, පරණ හණමිටි අදහස් තවමත් තබාගෙන තම මව/පියා නිසා හෝ වෙනත් අයකු නිසා තම මතය පසෙකට දමා අනුන්ට ඕනෑ විදියට තම චන්දය පාවිච්චි කරන තරුණ තරුණියන්ද නැතුවා නොවේ. එය යම් දිනෙක ඔවුන් විසින්ම අවබෝධ කර ගනී යයි අප බලාපොරොත්තු වෙමු. එනමුදු එවිට ඔවුන් පරක්කු වී තිබෙන්නට පුළුවන.

අවසාන වශයෙන් ජවිපෙ සිහි තබා ගත යුත්තේ හරකුන්ට කෙතරම් උත්සහ කොට ෆ්‍රයිඩ් රයිස් කැවීමට ගියද උන් සොයන්නේ පුන්නක්කු බවය.

දොම් හෙල්ඩ කමරා  නම් සමාජ ක්‍රියාකාරියකු විසින් කියූ කතාවක් සමගින් මෙම සටහන නිමා කරමි.
"මම දුප්පතුන්ට කෑම ලබා දුන් විට ඔවුන් මා ශාන්තුවරයෙකු ලෙස හැදින්වුහ. දුප්පතුන්ට ආහාර නැත්තේ ඇයි දැයි මා විමසූ විට ඔවුන් මා කොමියුනිස්ට් කාරයෙකු ලෙස හංවඩු ගැසීය....."   
                                                                                              ~සනා ~

        

No comments:

Post a Comment

Don't You Think this Awesome Post should be shared ??
| වර්තමාන දේශපාලනය පිලිබඳ සනාගේ විවේචනය |