Monday, October 19, 2015

දුමාට දැනුනු ඇගේ වියෝව

ඔන්න කැම්පස් එකේ හෙට Applied Exam එකත් තියාගෙන අදත් ආවා බ්ලොග් එක පැත්තේ. සින්දුවක් ගැන ලියන්නත් ඕනි. ඒත් සින්දුවට කලින් පොඩි කතාවක් තියෙනවා ලියන්න. මොකද කැම්පස් එකේ එක බත් පත බෙදාගෙන කන මගේ සදාරණීය මිතුරෙක්ගේ ලස්සන(ලස්සන කිව්වට දුඛාන්තයක් තියෙන) love story එකක් තියෙනවා. මට ඒ කතාව අහගෙන ඉද්දි වෙන මොකුත් නෙවෙයි මතක් උනේ. සුනිල් එදිරිසිංහ මහත්මයාගේ  ගීතයක්. ඉස්සෙල්ල කතාව කියවමුකෝ.

දවසක් මායි තව සරසවියේ මිත්‍රයෝ කීපදෙනෙකුයි මහ රෑ සිල්පර කොටන් උඩට වෙලා අහසේ තරු ගණන් කර කර ඉන්න වෙලාවක තමා අපේ කතා නායකයා මේ කතාව පටන් ගත්තේ. මිනිහා පොඩ්ඩක් ගොරෝසු කටහඬක් තියෙන මධ්‍යම පළාතේ කොල්ලෙක්. මේ කතාව ලියන්න ගොඩක් කල් ඉදන් පෙරුම් පුර පුර හිටියේ. ඒත් විවිධ හේතු නිසා ලියාගන්න බැරි වුනා. 


හරි, අපේ කතා නායකයාව "දුමා" කියලා හදුන්වමුකෝ. 

අපේ දුමා ඒ කාලේ ඉදන් ඔය ආදරය කියන දේ සිරාවටම හොදට වින්ද පුද්ගලයෙක්. මේ ප්‍රධාන කතාවට එන්න කලින් මිනිහගේ ඒ අතීතය ගැන පොඩ්ඩක් හාරා අවුස්සන එක වටිනවා. ඉස්කෝලේ යන කාලේ එක්තරා දුමා එක්තරා කෙල්ලෙකුට ආදරය කරා. ඒ ආදරෙත් ලස්සන රස මුසු තැන් එක්ක ගෙවුන උනත් එක පාරටම අර කෙල්ල මුව අත අරිනවා. අපිට තේරෙන විදියට කිව්වොත් බූට් එකක් තිබ්බා. දුමා ඒ සිද්දිය නිසා සැහෙන්න දුක් වුනා. කොහොම හරි කාලයත් එක්ක ඒ දේවල් අමතක වෙලා ගිහිල්ල මිනිහ යන්තමින් හිත හදාගෙන ඉන්නකොට ඒ කියන්නේ කොල්ලා තුන්වෙනි පාර ගණිත අංශයෙන් උසස් පෙළ ලියන කාලේ Agri එකේ සුන්දර මුහුණකට දුමාගේ හිත ගියා. ඔය හිත කියන දේ තනිව හැසිරෙන, දුර ගමන් යන ගුහාවක වාසය කරන(ඒකං චරං, දුරං ගමං...) අමුතුම දෙයක් කියලා බුදු දහමේත් පැහැදිලි කරනවනේ. 
ඇත්තටම කිව්වොත් මුලින්ම ඒ අහිංසක වත කමලට හිත ගියාට මිනිහා ආදරේ කරේ ඒ කෙල්ලගේ අහිංසකකමට සහ ගති ගුණ වලට. 

කොහොම හරි මිනිහ මුට්ටිය එහෙම දාල හෙමින් හෙමින් ඒ කෙල්ලට ලං වෙලා තමන්ගේ හිතේ කැකෑරේමින් තිබ්බ ආදරේ ප්‍රකාශ කරා. වැඩි කලක් යන්න කලින් ඒ කෙල්ලත් අපේ දුමාට ආදරේ කරන්න පටන් ගත්තා. ඉතින් මේ දෙන්නගේ ආදරෙත් ඔය බයිස්කෝප් වල තියෙන තරම්ම romantic නොවුනත් romantic ආදරයක් වුනා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ දෙන්නගේ බැඳීම සැබෑ ආදරක් වුනා. කිසිම ආදර කතාවකට බාධක නැති වෙන්නේ නෑනේ. ඉතින් මේ සුන්දර ආදරයත් ගලාගෙන ගියේ විවිධ බාධක කම් කටොලු අතරින්. කතාවක් තියෙනවනේ ආදරයයි, කැස්සයි දෙකම හංගන්න බෑ කියලා. ඉතිං ඒක නිසාත් විවිධ ප්‍රශ්න වලට මූන දෙන්න සිද්ධ වුනත් ආදරය ගලාගෙන ගියා. 

ඔහොම දවසින් දවස ගෙවිලා යද්දී දෙන්නම සරසවි වරම් ලැබුවා. මං දකින විදිහට මේ ආදර අන්දරයේ Turning Point එක තමයි මේක. මේ දෙන්නම ආවේ "හිරු නැගෙන සරසවිය හෙවත් නැගෙනහිර සරසවියට. ඒ කියන්නේ Eastern University එකට. අර කෙල්ලට නම් ඒක කොහොම දැනුනද කියලා දන්නේ නෑ, හැබැයි අපේ දුමාගේනම් ඉහේ මලක් පිපුන වගේ තමයි ඒ පණිවිඩය දැන ගත්තට පස්සේ. දුමා Science Faculty එකේ. දුමාගේ ප්‍රියම්බිකාව Agriculture එකේ. 


මේ දෙන්නා එකම කැම්පස් එකට ඇවිල්ල කලින් වගේම මලක් එහෙම කඩලා හොදින්  හිටියා. මුල් කාලේ නිදහස තරමක් අඩු වුනත් මේ දෙන්නගේ ආදරේට එක ගැටළුවක් වුනේ නෑ. කෙසේ හෝ මාස 4ක් විතර යන කොට දුමාගේ ආදරිය ටික ටික වෙනස් වෙන්න ගත්තා. 
දැන් කලින් වගේ මල් කඩන්නේ නෑ. දැක්කත් වැඩිය භජනයක් නැතුව මග ඇරලා යනවා. එයාගේ ජංගමෙත් නිතරම වගේ busy වෙන්න ගත්ත. දුමාට ඒක සැහෙන්න වැදුනා. එක එක ආරංචි එහෙමත් එන්න පටන් ගත්ත සීනියර් අයයි Batch එකේ අයයි පැණි ඒම හලනවා කියලා. ඒ වුනාට දුමා ඒවා ගැන වැඩිය care කරේ නෑ. මොකද දුමාට එයාගේ පුංචි සමනලිය ගැන ලොකු විශ්වාසයක් තිබ්බා. ඒත් මේ දෙන්නගේ දුරස්ථ බව එන්න එන්නම වැඩි වෙනකොට දුමාගේ හිත බිදුනා. ගොඩක් කල්පනා කරා මේ වෙන්නේ මොකක්ද කියල. දුමාට හිතා ගන්න බැරි වුනා අවුරුදු ගානක් ආදරය කරපු කෙනෙක් ඇයි එක පාරටම වෙනස් වුනේ කියලා. 

එක දවසක්.......................
මේ කෙල්ල ගන්නවා අපේ දුමාට call එකක්. අරගෙන හෙන හැල්ලක් කියවනවා. එදා දුමා ඔය කතාව කියද්දී ඒ කෙල්ල කිව්ව හැම දේම අකුරක් නෑර කිව්වා. 
එත්..... මගේ හිතේ රැදුනේ ඒවගෙන් එකම එක වාක්‍ය කාණ්ඩයක් විතරයි. 

"මෙච්චර කල් මගේ හිතේ ඔයා ගැන තිබ්බේ ආදරයක් නෙවෙයි, අනුකම්පාවක් විතරයි...."

ඒ වචන ටික නම් මට හොඳටම දැනුනා. කවුරු කොහොම මොන දෝෂාරෝපණ එල්ල කරත් ඇත්තටම මට ඒ වෙලාවේ හිතුනේ අනේ ඇයි මේකිට හෙන ගහන්නේ නැත්තේ කියලා... 


ඕනි දේකට උදවු කරන එක බඩවැල කඩාගෙන ආවා වගේ ඉන්න සහෝදරයෝ ටිකක් ඉන්න නිසා දුමාගේ දුක යම්තාක් දුරකට තුනී වුනා. කවදා හරි දවසක ඒ කෙල්ලට මේ කරපු දේ ගැන පසුතැවෙන්න වෙයි කියන හැගීම තාමත් මගේ හිතේ තියෙනවා. අන්න එදාට එයාට මඤ්ඤොක්කා කාල ඉගුරු යහමින් දාපු තේ එකක් බොන්න එහෙමත් නැත්තම් වරක කාල Coca Cola ටිකක් බොන්න හිතුනොත් පුදුම වෙන්න දේකුත් නෑ...
____________________________________________________________________________________________________________

සුනිල් එදිරිසිංහ මහත්මයාගේ මෙන්න මේ ගීතය අහද්දී දුමාගේ කතාව මගේ දෙසවනේ දෝංකාර දෙනවා වගේ මට දැනෙනවා. 
මට ඒ කතාව දැනෙනවා වගේම තවත් ඒ වගේම වෙනත් කතාවක් ඔබේ දෙසවන තුල දෝංකාර දෙනවා ඇති....

"වියෝවු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
 හැඩුදා කදුළයි දකින්නේ සිනහවේ සරදම්...//

 ඉවුරු දෑළේ හිද බැලුවිට ගග හැඩයි කදිමයි
 දියටවන් විට එවන් ගගුලම බිහිසුණුයි චන්ඩයි...

 වියෝවු පසුවයි....

 හදක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
 පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්...

 වියෝවු පසුවයි..."

 ගායනය : සුනිල් එදිරිසිංහ
 ගීපද : බන්දුල නානායක්කාරවසම්
 සංගීතය : රෝහණ වීරසිංහ

 ගීතය ඇසීමට>>




No comments:

Post a Comment

Don't You Think this Awesome Post should be shared ??
| දුමාට දැනුනු ඇගේ වියෝව |